පාකිස්තාන වේගපන්දු යවන්නෙකුගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

2022 T20 World Cup

628

Big bash ලීගයේ දී තමන් ලද අත්දැකීම් එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය පිතිකරුවන්ව දමනය කිරීමට යොදා ගන්නා බව පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Haris Rauf විසින් ප්‍රකාශ කර සිටිනවා.

2022 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම් දෙක ඔක්තෝබර් 23 වැනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මුණ ගැසීමට නියමිතයි.

රටවල් දෙක අතර පවතින දේශපානික ගැටුම් හේතුවෙන්, දෙරට අතර ද්වීපාර්ශවීය තරගාවලි සංවිධානය නොවන වටපිටාවක මෙම තරගය MCG හිදී පැවැත්වෙනු ඇත.

“මම මගේ උපරිමය දුන්නොත්, එයාලට මට විරුද්ධව ක්‍රීඩා කිරීම අපහසු වේවි. මම ගොඩක්ම සතුටින් පසුවෙන්නේ ඉන්දියාව සමඟ මීළඟ තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන නිසා.”

BBL තරගාවලියේ දී Melbourne Stars නියෝජනය කරන Rauf විසින් මෙම අදහස් පල කළේ එංගලන්තයට එරෙහිව පකිස්තාන කණ්ඩායම ලකුණු හයක තියුණු ජයක් ලබා ගත් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින්.

“මම Melbourne Stars කණ්ඩායමට ක්‍රීඩා කරන නිසා MCG කියන්නේ මගේ Home ground එක. ඒ වගේම මට අදහසක් තියෙනවා ඒ ක්‍රීඩාංගණයේ වටපිටාව මොන වගේ ද කියන එක ගැනත්. මම දැනටමත් ඉන්දියාවට එරෙහිව පන්දු යැවිය යුතු විදිහ ගැන සැලසුම් හදමිනුයි ඉන්නේ,” යනුවෙන් Rauf තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

එංගලන්තයට එරෙහිව තරග හතකින් යුතු විස්සයි විස්ස තරග සංචාරයක නිරත වෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම පසුගිය බදාදා (28) ලද තරග ජයත් සමඟින් 3-2ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් වී සිටියි.

පළමු වරට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක දී ඉන්දියානු කණ්ඩායම කඩුලු දහයකින් පරාජය කිරීමට ගියවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර, පසුගිය දා නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී නැවත එහි වාඩුව ලබා ගැනීමට ඉන්දියාව සමත් වූයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමිනුයි.

ආසියානු කුසලානයේ දී ඉන්දියාවට එරෙහිව තරගාවලියේ පළමු තරගයේ දී කෙටි පන්දු යොමු කරමින් ඉන්දියානු පිතිකරුවන් අසරණ කළ නමුත් කඩුලු ලබා ගත නොහැකි වූ Rauf, ඉන්දියාවට මුණ ගැසුණු දෙවැනි තරගයේ දී ඉන්දීය නායක Rohit Sharmaව දවා ගැනීමට සමත් වුනා.

එම ආසියානු කුසලානය පුරාවට කඩුලු අටක් දවා ගත් Rauf, දැනට පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගාවලියේ දී ද තරග පහක් තුල කඩුලු අටක් බිඳ හෙලීමට සමත්ව සිටිනවා.

“ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු පීඩනයක් දැනෙන තරගයක්. දැනට වසරකට පෙර පැවති ලෝක කුසලාන තරගයේ දී මම ලොකු පීඩනයකින් ක්‍රීඩා කළේ. නමුත් ආසියානු කුසලාන තරගාවලියේ ක්‍රීඩා කරපු තරග දෙකේ දී මට ඒ තරම් පීඩනයක් දැනුණේ නැහැ. මොකද මට මගේ උපරිමය දෙන්න පුළුවන් බව මම දන්න නිසා,” ඉන්දීය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීම ගැන Rauf එලෙස සිය අදහස් පළ කර සිටියා.

2022 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ හා බෙදා හදා ගැනීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

The Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<