Bumrah ගැන තවම බලාපොරොත්තු තියාගන්න පුළුවන්!

929

Jasprit Bumrah විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කරනවා ද, නැද්ද යන තීරණය ඉදිරි දින දෙක හෝ තුන ඇතුළත නිල වශයෙන් දැනුම් දෙන බව BCCI සභාපති Sourav Ganguly විසින් ප්‍රකාශ කර සිටියා.

Sourav Ganguly විසින් තවමත් තමන්ගේ ප්‍රබලතම වේගපන්දු යවන්නාව මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සහභාගී කර ගැනීමේ බලාපොරොත්තු අත්හැර නොමැති අතර, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය අතරමැද දී කණ්ඩායමෙන් ඉවත් කළ Bumrah පසුගිය බදාදා (28) Thiruvananthapuram සිට Bengaluru ක්‍රිකට් ඇකඩමිය වෙත පිටත් කර යැවූවේ ඔහුගේ පිටේ ඇති වී ඇති ආබාධ තත්වය පිළිබඳ ස්කෑන් පරීක්ෂාවක් කිරීම සඳහායි.

Bumrah තවමත් විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් වෙලා නැහැ,” යනුවෙන් Xtra Time Digital නාලිකාව හා සම්බන්ධ වූ Ganguly ඊයේ (30) ප්‍රකාශ කර තිබුණා. එහි දී තවදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වමින් Ganguly කියා සිටියේ, ඉදිරි දින දෙක හෝ තුන තුල දී මේ පිළිබඳ හරි තීරණයක් ප්‍රකාශ කළ හැකි වනු ඇති බවයි.

Ganguly විසින් මෙම ප්‍රකාශය ලබා දෙන්නේ මීට පෙර BCCI විසින් Bumrahගේ පිට කොන්දේ ආබාධය පිළිබඳ ලබා දුන් ප්‍රකාශයන් අනුකූලව යමිනුයි. එම ප්‍රකාශයේ  සඳහන් වන්නේ ඉන්දියාවේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ (NCA) වෛද්‍ය කණ්ඩායම් විසින් ඔහුගේ මෙම රෝගී තත්වය පරීක්ෂා කරනු ලබන බවයි.

BCCI මගින් නොදැන්වූවත් ESPNcricinfo මාධ්‍ය කණ්ඩායම Bumrahගේ වත්මන් තත්වය පිළිබඳ අනාවරණය කර ගත් කරුණු අනූව, ඔහු පසුගිය බදාදා ස්කෑන් පරීක්ෂාවක් වෙනුවෙන් Thiruvananthapuram සිට බැංගලෝරය වෙත ගොස් ඇති අතර, එහි දී අනාවරණය වී ඇත්තේ ඔහුගේ පිට කොන්දේ ඇතිවූ ඇදීමක් හේතුවෙන් මෙම ආබාධය හටගෙන ඇති බවයි.

එමෙන්ම Bumrahට පසුගිය ආසියානු කුසලානය මග හැරී ගියේ ද මෙවැනිම පිට කොන්දේ ඇතිවූ ආබාධ තත්වයක් නිසාවෙනි. එයින් ඔහු සුවය ලබා පැමිණියත්, නැවතත් ටික දිනකින්ම ඔහුට නැවත එම ආබාධයෙන් පීඩා විඳීමට සිදු වී ඇත.

එම කරුණු ද සිහියේ තබා ගනිමින් BCCI විසින් සේවයට ගත් ස්වාධීන වෛද්‍ය පරීක්ෂකවරුන් පිරිසක් විසින් නවමු ආකාරයේ ස්කෑන් පරීක්ෂාවක් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිදු කර ඇති අතර, එහි ඉදිරි පියවර එම වෛද්‍ය කණ්ඩායම සහ BCCI හි වෛද්‍ය කණ්ඩායම් විසින් එකතු වී තීරණය කරනු ඇත.

ඔක්තෝබර් 6 වැනි දින විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට යෑමට නියමිත ඉන්දීය කණ්ඩායම සමඟ එකතු වීමට කාලයත් සමඟ තරගයක යෙදීමට Bumrahට මේ වන විට සිදු වී ඇත.

මේ අතර ඔක්තෝබර් 13 තෙක් පර්ත් වල සිටින ඉන්දීය කණ්ඩායම ඉන්පසු බ්‍රිස්බ්‍රේන් දක්වා පිටත්ව යන්නේ ඔක්තෝබර් 17 සහ 19 දෙදින තුල ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පුහුණු තරග දෙකකට මුහුණ දීමේ අරමුණෙනුයි.

ඉන්පසුව තරගාවලියේ ඉන්දියාව මුහුණ දෙන පළමු තරගය ලෙස පාකිස්තාන කණ්ඩායම සමඟ ඔක්තෝබර් 23 වැනිදා මෙල්බර්න් හීදී පැවැත්වීමට නියමිතයි.

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු තොරතුරු ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

ESPNcricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<