Ricky Ponting, Joe Rootගේ නායකත්වය ප්‍රශ්න කරයි

2133

හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting එංගලන්ත නායක Joe Rootව දැඩිව විවේචනය කර තිබෙනවා.

ඒ මේ දිනවල ක්‍රියාත්මක වන අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩ දෙවැනි පරාජයෙන් පසුව එංගලන්ත පන්දු යවන්නන්ට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන්. Ponting පවසා සිටින්නේ ක්‍රීඩකයින් සැලසුම් ක්‍රියාත්මක කරන්නේ දැයි සොයා බැලීම නායකයාගේ වගකීමක් බවයි.

එංගලන්තය දෙවැනි අළුබඳුන ටෙස්ට් තරගයෙන් ලකුණු 275ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා. ඒ අනුව තරග පහකින් යුතු තරගාවලියේ 2-0ක් ලෙස පෙරමුණේ සිටින්නේ ඕස්ට්‍රේලියාවයි. දෙවැනි තරගයේ පරාජයෙන් පසුව Joe Root පවසා සිටියේ සිය පන්දු යවන්නන් නිසි ස්ථානවල පන්දු නොයැවූ බවයි.

“මම මගේ පුටුවෙනුත් වැටුණා ඒක අහපු ගමන්. කාගේ රස්සාව ද පන්දු යවන්නන්ගේ එල්ලය වෙනස් කරවන එක. ඒක කරන්න බැරි නම් ඇයි ඔයා නායකයා වෙලා ඉන්නේ?”, Ponting, cricket.com.au වෙත පවසා සිටියා.

“ඔබට ඔබේ පන්දු යවන්නන් පොළඹවන්න බැරි නම් හරි ස්ථානවල පන්දු යවන්න ඔබ මොනවද පිට්ටනියේ කරන්නේ? Joe Rootට තමන් කැමති දෙයක් කියන්න පුළුවන්. නමුත් ඔයා නායකයා නම් ඔබට පුළුවන් වෙන්න ඕනේ පන්දු යවන්නන් හරි තැන්වල පන්දු යවන්නේ නැහැ කියන එක කලින්ම තේරුම් ගන්න.”

“පන්දු යවන්නන් ඔබ කියන දේ අහන්නේ නැති නම් ඔවුන්ව පන්දු යැවීමෙන් ඉවත් කරන්න ඕනේ. වෙනත් කෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනේ ඔබට අවශ්‍ය දේ කරවගන්න. එහෙම නැත්තම් ඔබ පිට්ටනියේ දීම පන්දු යවන්නන්ට දැඩිව කියා දෙන්න ඕනේ ඔයාලා මේක හරියට කරන්න ඕනේ කියලා. ඒක තමා නායකත්වය කියන්නේ.” Ponting පවසා සිටියා.

Root පවසා සිටියේ එංගලන්තය 4-0ක් පරාජය වුනු 2017-18 වසරවල දී පැවැත්වුනු අළුබඳුන ටෙස්ට් තරගාවලියේ දී කළ වැරදීම නැවත කරන බවයි. තරගයේ සිව්වැනි දිනයේ දී Joe Root ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වූ මොහොතේ එංගලන්ත පන්දු යවන්නන් මෙහෙය වූයේ Ben Stokes.

“වැදගත්ම දේ තමයි එංගලන්තය පිතිකරුවා අසලටම (Full) පන්දුව පතිත කළ එකම අවස්ථාව Root පිටියේ නොසිටි අවස්ථාව වීමයි. සිව්වැනි දිනයේ දී Ben Stokes නායකත්වය භාරගත්තා. පසුව පන්දු යවන්නන් හොඳ ස්ථාන ල පන්දු යැව්වා.”

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<