ආසියානු කුසලාන ජයග්‍රහණය අහඹුවක් නෙවෙයි – ජයසූරියගෙන් ධනාත්මක ප්‍රකාශයක්

1368

පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ සිය ප්‍රථම තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වීමෙන් අනතුරුව, ඉන්දියාව සහ පාකිස්තානය වැනි ප්‍රබල රටවල් පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ආසියානු කුසලානය ජය ගැනීම බොහෝ ක්‍රිකට් ප්‍රවීණයන් බලාපොරොත්තු නොවුණු සිදුවීමක්.

බොහෝ දෙනා එසේ සිතුවත් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම ක්‍රිකට් තරුවක් වන සනත් ජයසූරිය නම් ඒ ගැන එතරම්ම පුදුමයට පත් නොවූ බව පවසා සිටිනවා.

“ඒ තරම්ම පුදුම වෙන්න දෙයක් නැහැ, අපිට හොඳ ක්‍රීඩකයින් පිරිසක් සිටිනවා ඒ වගෙම ඔවුන් නියම වෙලාවේ තමන්ගේ උපරිමය දෙන්න සමත් වුනා. ඔබ දන්නවා ඔවුන් පළමු තරගය පරාද වුනා තමයි, ඒත් ඕනම කණ්ඩායමක් තරගයක් පරාජය වෙන්න පුළුවන් ඒ වගේම ආයෙත් හොඳින් ක්‍රීඩා කරන්නත් පුළුවන්.

පළමු තරගය පරාජයෙන් පස්සේ ඔවුන් තේරුම් ගත්තා මොනවද ඔවුන් විසින් කරපු වැරදි කියලා. ඔවුන් හැමෝම තම තමන්ගේ උපරිමය දීලා කණ්ඩායමක් විදිහට හොඳින් ක්‍රීඩා කළා. ඔබට අතිවිශිෂ්ට ක්‍රීඩකයින් සිටිය යුතු නැහැ, ඔවුන් හොඳ ක්‍රීඩකයින්, කණ්ඩායමක් විදිහට එකට ක්‍රීඩා කරන.”

සනත් ජයසූරිය විසින් පසුගිය බදාදා (28) මෙම අදහස් ප්‍රකාශ කර සිටියා. දෙවරක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස සේවය කළ සනත් ජයසූරිය විසින් කණ්ඩායම ශක්තිමත් වීමට හේතු පවසා සිටියා.

“ඔවුන් හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කරනවා, එය තමයි අවශ්‍ය දේ. ඔබ හොඳ ක්‍රිකට් එකක් සෙල්ලම් කරනවා නං, එයින් ඔබට ලැබෙන්නේ හොඳ ප්‍රතිඵලයක්.”

96 ලෝක කුසලානය ජය ගත් ශී ලංකා කණ්ඩායම සමඟ මෙම කණ්ඩායම් සැසඳීම අසාධාරණ බව සනත් විශ්වාස කරනවා,

“සැසඳීමක් අවශ්‍ය නැහැ, ඔවුන් තමන්ගේ විදිහට ක්‍රීඩාවේ මූලික දේවල් (Basic) හොඳින් කරන තාක් ඔවුන්ට එයින් හොඳ ප්‍රතිඵල ලැබේවි,” 52 හැවිරිදි මෙම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා එසේ පවසා සිටියා.

තවදුරටත් අදහස් දැක්වූ සනත් ජයසූරිය පවසා සිටියේ, තවමත් ඔහුට මීළඟ විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ගැන අනාවැකි කිව නොහැකි බවයි. නමුත් ඔහු පවසා සිටියේ තමන් තරගාවලියේ මූලික වටයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ප්‍රධාන කණ්ඩායම් 12 අතර තරගාවලියට තේරී පත් වී එහි දී හොඳින් තරග කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සහය පළ කරන බවයි.

“ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම හොඳින් තරග කරාවි, විස්සයි විස්ස කියන්නේ වේගවත් ක්‍රීඩාවක්. අපේ කොල්ලෝ හොඳින් ක්‍රීඩා කරනවා, එදා දවසේ හොඳින් තරග කරන ඕනම කණ්ඩායමකට තරගය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව තියෙනවා,” තමන්ගේ විශ්වාසය එය බවයි සනත් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලානය, ඒ වන විට ශ්‍රී ලංකාවේ පැවති දරුණු ආර්ථික පසුබෑම නිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යෑමට සිදු වුනා.

නමුත් ඉදිරියේ දී එම ප්‍රශ්නවලට මුහුණ දෙමින් ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට එනු ඇති බවත්, නැවතත් පෙර ලෙසම ක්‍රිකට් තරඟ ශ්‍රී ලංකාවේ දී දැක බලා ගැනීමට ලැබෙනු ඇති බවටත් සනත් දැඩි ලෙස විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ සංචාරක සන්නාම තානාපති (brand ambassador of Sri Lanka tourism) ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන Legends tournament දෙකකට සහභාගී වෙමින් සිටිනවා. ඉතාම කාර්‍යබහුල කාලසටහනක් සහිතව වුව ද ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් ඉන්දියාවේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළකර සිටියා.

“දැන් හැමදෙයක්ම හොඳින් සිදු වෙනවා. හැමෝම දන්නවා පසුගිය මාස තුන හතරක කාලයේ අපේ රටේ තිබුණු තත්වය මොන වගේ ද කියන්න. අපේ ජනයා ඕනවටත් වඩා පීඩා වින්දා, දැන් ඔවුන් මේ ප්‍රශ්නවලින් එළියට එන්න අවශ්‍යයි. සංචාරක කර්මාන්තය ලංකාවේ වැදගත්ම අංශයක්, ඒ නිසා මම එය ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටිනවා. අපි දැන් ශ්‍රී ලංකාව දෙස ධනාත්මකව බැලිය යුතුයි.

ඕනම කෙනෙක්ට දැන් ලංකාවට එන්න පුළුවන්. හැමදෙයක්ම දැන් හොඳ දිශාවට හැරෙමිනුයි පවතින්නේ. අපිට ඉන්දීය මාධ්‍ වලින් සහය අවශ්‍යයි. වෙච්ච හැම දෙයක්ම අතීතයට අයිති දේවල්, අපිට ඒ දේවල් ගැන කතා කර කර ඉන්න බැහැ. අපි ඉදිරියට යා යුතුයි.“

සනත් ජයසූරිය ඉන්දීය මාධ්‍ය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ මෙන්ම, ශ්‍රී ලංකාවේ අනාගත පිළිබඳ ධනාත්මක ලෙස අදහස් දැක්වූවා.

Times of India ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<