“සංගාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා”- Shivam Dube

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

688
Shivam Dube expecting extra tips from Kumar Sangakkara

තමන්ට කුමාර් සංගක්කාරගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙන බව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා Rajasthan Royals කණ්ඩායම හා එක්වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Shivam Dube පවසා තිබෙනවා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙරවදනක් සපයමින් crictracker වෙබ් අඩවිය සමඟින් එක්වූ සාකච්ඡාවක දී ඔහු මේ බව පවසා තිබෙනවා. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගාවලිය එළඹෙන අප්‍රේල් 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Shivam Dube මීට පෙර Royal Challengers Bangalore නියෝජනය කළ අතර මෙවර තරගාවලියට පෙර පැවති ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඔහු නිදහස් කිරීමට කණ්ඩායම තීරණය කළා. 

ඉන් අනතුරුව ක්‍රීඩක වෙන්දේසියේ දී Rajasthan Royals විසින් ඉන්දීය රුපියල් කෝටි 4.4කට ඔහුව මිල දී ගෙන තිබුණා. පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී එතරම් සාර්ථක වීමට Shivam Dube සමත් වුනේ නැහැ.

පසුගිය වසරේ දී සිදු වූ අඩුපාඩු නිවැරදි කරගනිමින් Rajasthan කණ්ඩායමට උපරිමය ලබා දීම තම අරමුණ බව Shivam Dube තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Shivam Dube සිය පිතිකරණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා මෙවර තරගාවලිය සඳහා Rajasthan Royals හි කණ්ඩායම් අධ්‍යක්ෂක ලෙස පත්කෙරුණු හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ උපදෙස් වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බව Shivam Dube පවසා සිටියා.

ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම වමත් පිතිකරුවා ලෙස සැලකෙන කුමාර් සංගක්කාරගෙන් වමත් පිතිකරුවෙකු වන තමාට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙන බවත් Dube පවසා තිබුණා.

“කුමාර් සංගක්කාර තරග රැසක් ක්‍රීඩා කරලා තියෙනවා. ඔහු මගේ පිතිකරණය දිහා බලලා මගේ අඩුපාඩු පෙන්වා දේවි. වමත් පිතිකරුවෙක් විදිහට මට දියුණු කරගන්න තියන දේවල් මම ඔහුගෙන් දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” 

“මට ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. ක්‍රීඩකයෙක් විදිහට මම තවත් ගොඩක් දේ ඉගෙන ගන්න ඕනේ. පිතිකරණය ගැන මම සංගක්කාරගෙන් විශේෂ උපදෙස් බලාපොරොත්තු වෙනවා” Shivam Dube තවදුරටත් පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්: 

මෙවර Rajasthan Royals සඳහා දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක Chris Morris ද එක්වන අතර ඔහු සහ එංගලන්ත ක්‍රීඩක Ben Stokes Rajasthan Royals කණ්ඩායමේ මැදපෙළට වඩාත් ශක්තියක් එක් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායම තුල Shivam Dubeගේ භූමිකාව මෙතෙක් පැහැදිලි නැහැ. මේ නිසා පිතිකරුවෙකු ලෙස Dube යොදාගැනීමට වැඩි ඉඩක් පවතින බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.

“මම ඕනෑම තැනක ක්‍රීඩා කරන්න සූදානම්. මම හැමතැනම ක්‍රීඩා කරලා තියනවා. මම මට කරන්න පුළුවන් දේ ගැන හිතන්නේ නැහැ. මම හිතන්නේ කණ්ඩායමට මගෙන් ඕනේ මොනවද කියලා. කණ්ඩායමට ඕනේ නම් මම මුල්පෙළ ක්‍රීඩා කරන්න මම ඒකට සූදානම්. තරග අවසන් කරන්නෙකු ලෙස මම ක්‍රීඩා කරන්න ඕනේ නම් මම ඒකටත් සූදානම්. මගෙන් ඉටු වෙන්න ඕනේ වගකීම් ඕනැම වෙලාවක ඉටු කරන්න මම ලෑස්තියි” Dube පවසා සිටියා.

Shivam Dube ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල තරග 15කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ලකුණු 169ක් වාර්තා කර තිබෙනවා. ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 4ක්.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණු නමුත් මෙවර තරගාවලිය ඉන්දියාව තුල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ක්‍රීඩාංගණ 5ක් යොදාගැනීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට තවමත් අවසර හිමි වන්නේ නැහැ.

Rajasthan Royals සහභාගී වන පළමු තරගය අප්‍රේල් 12 වැනිදා Punjab Kings සමඟින් පැවැත්වීමට නියමිතයි. මෙවර Rajasthan Royals මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ Sanju Samson හටයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<