Tamim Iqbal ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි?

614

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවත් ටික කාලයක් ක්‍රීඩා කරන්නට අවශ්‍ය නම් තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ එක් ආකෘතියකට සමුදෙනු ඇති බව බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක Tamim Iqbal පවසා සිටිනවා. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මේ මස අග දී ශ්‍රී ලංකාවේ සංචාරයක ද නිරත වීමට නියමිතයි.

පෞද්ගලික හේතුවක් නිසා Tamim Iqbal නවසිලන්ත විස්සයි විස්ස තරග සංචාරයට එක් වුනේ ද නැහැ. පසුගිය වසර 14 පුරාවටම Tamim Iqbal බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර මුල්පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළා.

“මට තවත් වසර හතරක් පහක් ක්‍රීඩා කරන්න අවශ්‍යයි. මම හිතන්නේ නැහැ මට ආකෘති තුනම ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා” Tamim, YouTube නාලිකාවකට අදහස් දක්වමින් පවසා තිබුණා. “මට, මම ඉතාම කැමති ආකෘති දෙකක් තෝරා ගන්න වෙනවා. මට කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්ෂතා පෙන්වන්න පුළුවන් ආකෘති. ඒ තෝරාගැනීම මම කරන්න දැන් වෙන්නත් පුළුවන් තව මාස හයකින් වෙන්නත් පුළුවන්. මම ආකෘති දෙකක් වෙනුවට එක ආකෘතියක් පමණක් ක්‍රීඩා කරන්නටත් පුළුවන්.”

“මම හිතන්නේ මේක තමයි මගේ කණ්ඩායමට හා මගේ ක්‍රීඩා ජීවිතයට හොඳම දේ. මම ගොඩක් දෙනෙක්ව ඉක්මනටම පුදුම කරන්න ඉඩ තියෙනවා. මම අනිවාර්යයෙන් ඒ තීරණය ගන්නවා.”

තවත් ක්‍රිකට් පුවත්:

බොහෝ ක්‍රීඩකයින් වරකට එක් ආකෘතිය බැගින් හැර යන බවත් තමන් කැමතිම ආකෘතිය අවසානයට හැර යන බවත් Tamim Iqbal පවසා සිටියා.

“ක්‍රීඩකයින් ටිකදෙනයි ඉන්නේ ආකෘති සියල්ලෙන්ම එකවර සමුගන්නා” ඔහු පවසා සිටියා. “ගොඩක් ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමයි සිය ක්‍රීඩා දිවිය නිමා කරන්නේ. මට හිතෙන්නේ මම එක්දින කණ්ඩායමට තමා ලොකුම අගයක් එකතු කරන්නේ. සමහර විට මම එක්දින ක්‍රිකට් පිටියෙන් මගේ ක්‍රීඩා දිවිය අවසන් කරන්නට පුළුවන්.”

මේ වන විට බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින හා විස්සයි විස්ස ලකුණු ලාභියා වන්නේ ද Tamim Iqbal. ඔහු මේ වන විට බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ ද දෙවැනි ස්ථානයේ සිටිනවා. ඔහු බංග්ලාදේශය වෙනුවෙන් ජාත්‍යන්තර ශතක 23ක් හා අර්ධ ශතක 85 ක් ද රැස් කර තිබෙනවා.

බංග්ලාදේශය ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. ඔවුන් අප්‍රේල් 12 වැනිදා කොළඹට පැමිණීමට නියමිත අතර පළමු ටෙස්ට් තරග අප්‍රේල් 21 වැනිදා පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<