කාන්තා ක්‍රිකට් එක්දින ශූරතාවය නාවික හමුදාවට

283

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වූ අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ ඊයේ (02) සමත් වූහ.

ලීග් ක්‍රමයට ශූරියන් තේරීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ දී යුද හමුදාව පරාජයට පත් කරමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ආරක්ෂා කර ගත් නාවික හමුදා  කණ්ඩායම 2021 වසරේ එක්දින ශූරියන් ලෙස කිරුළු පැළඳූහ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් ගුවන් හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේ අනුශූරියන් ලෙස කිරුළු පැලඳීය.

තවත් ක්‍රිකට් පුවත්:

නාවික හමුදා ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් කැපී පෙනුණු ශෂිකලා සිරිවර්ධන කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවති මෙම තරගාවලියේ අවසන් තරගය දිනය උදාවත්ම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම වෙනුවෙන් නාවික හමුදාව සහ යුද හමුදා අතර තරගයේ ජයග්‍රහණය තීරණාත්මක විය. ඒ අනුව යුද හමුදා කණ්ඩායම කඩුලු 2ක පරාජයකට ඇද දැමූ නාවික හමුදා ක්‍රීඩිකාවෝ තීරණාත්මක තරගයේ දී ජයග්‍රහණය වාර්තා කරමින් අපරාජිතව ශූරතාවයට හිමිකම් කීහ.

වැලිසර දී පැවති මෙම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් යුද හමුදා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 138ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාවික හමුදා කණ්ඩායම පන්දුවාර 48.2ක දී කඩුලු 8ක් දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් විය.

එම ලකුණු හඹා යෑමේ දී පළමු කඩුලු 6 ම ලකුණු 62ක් ඇතුළත බිඳ වැටීම මත ජයග්‍රහණය අවිනිශ්චිත තත්ත්වයකට පැමිණි නමුත් මැදපෙළින් පැමිණි ශෂිකලා සිරිවර්ධන කණ්ඩායමේ බර කරට ගෙන ක්‍රීඩා කිරීම මත පන්දු 10ක් ඉතිරිව තිබිය දී තරගය ජය ගැනීමට නාවික හමුදාවට අවස්ථාව උදා විය. 

මැදපෙළින් පන්දුවට පහර දුන් ශෂිකලා සිරිවර්ධන පන්දු 59ක දී නොදැවී ලකුණු 43ක් ලබාගෙන ජයග්‍රහණය වෙනුවෙන් වැඩි මෙහෙයක් ඉටු කළාය. ඇයට අනගි සහායක් ලබා දුන් හර්ෂණී විජේරත්න 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සම්බන්ධතාවයක් පැවැත්වීමට දායකත්වය දැක්වූවාය. 

හර්ෂණී ලකුණු 21ක් ලබා ගනිද්දී අංක 9 පිතිකාරිණිය ලෙස පිටියට පිවිසි උදේශිකා ප්‍රබෝධනී පන්දු 13ක දී ලකුණු 20ක් රැස් කරමින් නාවික හමුදාවේ ජයග්‍රහණය ඉක්මන් කරවීය.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් මදුෂිකා මෙත්තානන්ද පන්දු 61ක දී ලකුණු 37ක් ලබා වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූවාය. ඇයට අමතරව සුගන්දිකා කුමාරි ලකුණු 30ක් සහ නිලුකා කුෂාන්ති ලකුණු 27ක් ලබා ගත්හ. පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 27කට කඩුලු 4ක් දවා ගත්තාය. ඇයට අමතරව ශෂිකලා සිරිවර්ධන සහ සත්‍යා සංදීපනී ලකුණු 2කට කඩුලු 2 බැගින් දවා ගත්හ.

යුද හමුදා ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 50ක දී කඩුලු 9ක් දැවී ලකුණු 138 යි: මදුෂිකා මෙත්තානන්ද 37, සුගන්ධිකා කුමාරි 30, නිලුකා කුෂාන්ති 27, ඉනෝකා රණවීර 4/27, ශෂිකලා සිරිවර්ධන 2/26, සත්‍යා සංදීපන් 2/26

නාවික හමුදා කණ්ඩායම පන්දුවාර 48.2ක දී කඩුලු 8ක් දැවී ලකුණු 139 යි: ශෂිකලා සිරිවර්ධන 43*, හර්ෂණී විජේරත්න 21, උදේශිකා ප්‍රබෝධනී 20*, නිලක්ෂි සිල්වා 3/20, ගනේෂා චමරි 2/17, සුගන්ධිකා කුමාරි 2/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<