නවීන් හේනකන්කානම්ගේ සත් සාමාජික සංචිතයෙන් ඉවතට

697
Naveen Henakankanamage

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා යොවුන් රග්බි ක්‍රීඩක නවීන් හේනකන්කානම්ගේ හට අහිමිව ඇත. ඒ ඔහු ආබාධයකට ලක්වී සිටීම නිසාවෙනි.

වයස අවුරුදු 19ක් වන නවීන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.  ඔහු එටිසලාට් පැන්තර්ස් කණ්ඩායමේ හා ඇක්සස් සමූහ ව්‍යාපාර කණ්ඩායමේ ද ක්‍රීඩා කර ඇත.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර ලබන සතියේ

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර මේ මස 14 සහ 15 යන දෙදින කොළඹ..

“නවීන්ට කලව ප්‍රදේශය ආශ්‍රිතව ආබාධයක් ඇතිවෙලා තියෙනවා. ඒවගේම පිට ප්‍රදේශය ආශ්‍රිතවත් ආබාධයක් තියෙනවා. ඔහුට ඒ ආබාධවලින් සුවවීමට අවම වශයෙන් තවත් සති දෙකක් හෝ ගතවේවි.“ යැයි ජාතික තේරීම් කමිටු සභාපති මයිකල් ජයසේකර මහතා ThePapare.com වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.

ශ්‍රී ලංකා රග්බි ජාතික තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත රග්බි සංචිතය මේ වන විට නිකුත් කර ඇත.

“අපි මෙවර සංචිතයට රිචඩ් ධර්මපාල, කවිඳු පෙරේරා, රීසා රෆයිඩීන්, රෙහාන් සිල්වා ඇතුළත් කළා. කණ්ඩායම දැනට පුහුණුවීම් කටයුතු සිදුකර ගෙන යන අතර, ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ලබන අඟහරුවාදා (10) වන විට තෝරා ගැනීමට අපට පුළුවන්.” යැයි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ආබාධයක් නිසා දෙවන අදියර මඟ හැරුණු කවිඳු පෙරේරා නැවතත් සංචිතයට ඇතුළත්ව ඇත. එසේම ThePapare.com වෙත දැනගන්නට ලැබෙන පරිදි නවීන්ගේ ස්ථානයේ රිචඩ් ධර්මපාල ක්‍රීඩා කිරීමට වැඩි සම්භාවිතාවක් ඇත.

ධර්මපාලට නිමාවූ අදියර දෙකේ දී ම ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ, ඔහු බෙල්ල ප්‍රදේශය ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටි නිසාවෙනි. බුද්ධිම ප්‍රියරත්න රිය අනතුරකට මුහුණ දීම නිසා දෙවන අදියරට ක්‍රීඩා නොකළ අතර, ඔහු ඉදිරියේ දී පැවැත්වෙන තෙවන හා අවසන් අදියරට නම් කළ සංචිතයට ඇතුළත් කළ ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම නිමා වූ අදියර දෙක තුළම පළඟ ශූරතාවය ජයග්‍රහණය කරන ලදි. සුදර්ශන මුතුතන්ත්‍රි විසින් මෙම අදියරේත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<