ගබ්බර්ට සුව වෙන්න තවත් කල් යනවා ලු!

IPL 2023

2103

Punjab Kings කණ්ඩායමේ නිත්‍ය නායකයා වන Shikhar Dhawan හට ඇති වී තිබෙන ආබාධය සුව වීමට තවත් දින දෙක තුනක් පමණ ගත වනු ඇති බව දැන ගන්නට ලැබෙනවා.

පසුගිය අප්‍රේල් 13 වැනිදා Gujarat Titans සමඟ පැවැත්වුණු තරගයේ දී උරහිසේ ආබාධයකට ලක් වූ Dhawan හට එතැන් පටන් තරග දෙකක් මග හැරුණු අතර, පවතින තත්වය අනුව ඔහුට හෙට (22) Mumbai Indians සමඟ පැවැත්වීමට නියමිත තරගයත් මග හැරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Dhawanට මග හැරුණු තරග දෙකේ දී Punjabය මෙහෙයවීමේ වගකීම Sam Curran හට පැවරුණු අතර ඔහු එම තරග දෙකෙන් පළමු තරගය (LSG සමඟ) ජයග්‍රහණය කරා කැඳවා ගෙන යාමට සමත් වුවද, ඊයේ Royal Challengers Bangalore සමඟ පැවැත්වුණු තරගයේ දී පහසුවෙන් ජයග්‍රහණය කිරීමට තිබූ තරගයක් පරාජය වෙත ඇදී යන අයුරු දැක ගැනීමට ලැබුණා. නමුත් එය නායකත්වයේ දුර්වලතාවකටත් වඩා පිතිකරුවන්ගේ වගකීම් විරහිත බව නිසා මුහුණ දුන් පරාජයක් බවත් සඳහන් කළ යුතුයි.

“ඒක පිතිකරණයේ යෙදෙන්න හොඳ කඩුල්ලක්. අපි ඔවුන්ව හොඳ ලකුණු ප්‍රමාණයක නතර කළා. නමුත් අපේ කඩුලු කිහිපයක් කලින් ම දැවී ගියා.”

Punjab කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන Trevor Gonsalves විසින් තරගය පරාජය වීමට හේතුව එසේ පැහැදිලි කළා.

ඊයේ තරගයේ දී Bangaloreය විසින් ලබා දුන් ලකුණු 175ක ඉලක්කය හඹා ගිය Punjabය ක්‍රීඩා කිරීමට සමත් වුනේ පන්දුවාර 18 පන්දු 2ක් පමණයි.

එමෙන් ම එහි දී Punjabය වෙනුවෙන් මෙතෙක් IPL තරගාවලියේ ඉහළ ම ලකුණු ලාභියා වන Shikhar Dhawanගේ අහිමි වීමත් දැඩි බලපෑමක් එල්ල කළ අතර Dhawan විසින් තරග 4කට පමණක් ක්‍රීඩා කර ලකුණු 233ක් රැස්කර ගෙන ඇත්තේ 116.5ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟයි.

එමෙන් ම තරග දෙකක් මග හැරී ගිය ද තවමත් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභීන් අතර හය වැනි ස්ථානයේ පවා රැඳී සිටීමට ඔහු සමත් වී තිබෙනවා.

“ඔහුට සුව වෙන්න දවස් 2-3ක් අතර කාලයක් ගත වේවි,” Gonsalves විසින් Dhawanගේ තත්වය පිළිබඳ ව ද එසේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

එමෙන් ම ඊයේ තරගයේ දී Royal Challengers Bangalore කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Faf du Plessisගෙන් Virat Kohli හට මාරු වී තිබූ අතර Faf පන්දු රැකීම සඳහා යෝග්‍ය මට්ටමක නොසිටින නිසා එම තීරණය ගෙන තිබූ බවයි පසුව වාර්තා වුනේ.

2023 IPL තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com විසින් ඔබට උදා කර දී තිබෙනවා.

එමෙන් ම තරගාවලියේ සියලු ම උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමටත් ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<