තාත්තට බැරි වුන දේ කරපු පුතාට තාත්තාගෙන් පැසසුම්!

IPL 2023

3263

හිටපු ඉන්දීය සුපිරි පිතිකරු Sachin Tendulkarගේ පුත් Arjun Tendulkar විසින් පසුගිය දා Mumbai Indians කණ්ඩායම සමඟින් IPL වරම් දිනා ගත්තා.

ඔහු සිය පළමු තරගය ලෙස Kolkata Knight Riders සමඟ ක්‍රීඩා කළ අතර, ඔහුගේ දෙවැනි තරගය පසුගිය අඟහරුවාදා (18) Sunrisers Hyderabad සමඟ පැවැත්වුනා. එහි දී ඔහු විසින් තරගයේ අවසන් පන්දුවාරය යොමු කරමින් සිය මංගල IPL කඩුල්ල දවා ගනිමින්, Mumbai වෙත ජයග්‍රහණය ගෙන ඒමට ද සමත් වුනා.

Sunrisers සමඟ තරගයේ දී සිය පළමු පන්දුවාර දෙක ලකුණු 13ක් පමණක් ලබා දෙමින් යොමු කිරීමට සමත් වූ Arjun හට නැවතත් පන්දුව බාර කෙරුණේ Sunrisers ඉනිමේ අවසන් පන්දු වාරයේ දීයි. ඒ වන විට Sunrisers කණ්ඩායමට ජයග්‍රහණය සඳහා කඩුලු 2ක් අතැතිව ලකුණු 20ක් ලබා ගත යුතු ව තිබුණා. නමුත් අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ Arjun විසින් ඔවුන්ට ලබා දුන්නේ ලකුණු 5ක් පමණයි.

එමෙන්ම Sachin Tendulkarගේ පළමු පෙළ ක්‍රීඩා ජීවිතයේ ඔහුව ලකුණු නොලබා දවා ගැනීමට සමත් වී ඇති එක ම පන්දු යවන්නා වන Bhuvneshwar Kumarව සිය පළමු IPL කඩුල්ල ලෙස දවා ගැනීමට Arjun සමත් වීමත් විශේෂ සිදුවීමක්.

එමෙන්ම ඒ සමඟින් මෙවර IPL තරගාවලියේ සිය තෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට Mumbai Indians කණ්ඩායම සමත් වුනා.

“මගේ සැලැස්ම වුනේ පිතිකරුවාට ඈතින් පන්දුව යැවීම සහ ඔහුව ක්‍රීඩාංගණයේ දිග වැඩි පැත්තට පහර එල්ල කිරීමට යොමු කිරීමයි. ඔව්, මම පන්දු යැවීමට ආදරෙයි, ඒ වගේ ම ඕනෑ ම වෙලාවක පන්දු යවන්න මම සතුටුයි. අපි (සචින් සහ ඔහු) ක්‍රිකට් ගැන ගොඩක් දේවල් කතා කරනවා. අපි උපක්‍රම සහ සැලසුම් ගැන කතා කරනවා.”

එම තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ Arjun විසින් එසේ පවසා සිටියා.

එමෙන් ම තරග නිමාවෙන් පසුව ක්‍රීඩාගාරයේ දී Mumbai කණ්ඩායම එකට එක් වූ අතර එහි දී කණ්ඩායම් උපදේශක ලෙස සෑහෙන්න කලක සිට කටයුතු කරන Sachin හට ක්‍රීඩකයින්ට කතා කිරීමට අවස්ථාවක් හිමි වුනා.

එහි දී ඔහු විසින් විශේෂයෙන්ම එදා තරගයේ දී Cameron Green විසින් දැක්වූ දක්ෂතා පිළිබඳ අගය කළා.

පසුව Mumbai කළමනාකාරිත්වය විසින් Arjunගේ පන්දු යැවීමේ දක්ෂතා පිළිබඳ අගය කිරීමක් සිදු කළ අතර, Sachin විසින් සිය පුත්‍රයාට විශේෂ ලාංඡනයක් ද පලඳවනු ලැබුවා.

“නැවතත් Mumbai Indians වෙතින් විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා දකින්න ලැබුණා. Cameron Green පිත්තෙන් සහ පන්දුවෙන් දක්ෂතා පෙන්නුවා. ඒ වගේ ම Ishan සහ Tilakගේ පිතිකරණයත් හොඳයි. IPL දවසින් දවස උද්වේගකර වෙනවා. ඒ වගේ ම අවසාන වශයෙන් Tendulkarට දැන් IPL කඩුල්ලක් තියෙනවා.”

IPL තරගාවලි හයකට ක්‍රීඩා කර තිබුනත් එකඳු IPL කඩුල්ලක් හෝ දවා ගැනීමට සමත් නොවීමේ අඩුව සිය පුත්‍රයා විසින් පිරවීමේ සතුට Sachin එසේ Twitter සටහනක් මඟින් හෙළි කර තිබුණා.

දිනෙන් දින උණුසුම් වන IPL තරගාවලියේ සියලු ම තරග ThePapare.com වෙතින් සජීවී ව නැරඹීමේ අවකාශය ඔබට හිමි වනවා. එමෙන්ම තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<