අඩු ලකුණක් ආරක්ෂා කළ ලක්නව් රාජස්ථානයේ නියත ජය වළකයි

571

මෙවර Indian Premiere League තරගාවලියේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙකක් වන Rajasthan Royals සහ Lucknow Super Giants අතර තරගය ඊයේ (19) රාත්‍රියේ ක්‍රියාත්මක වුනා.

එහි දී පහසු ජයක් කරා යමින් සිටි Rajasthan කණ්ඩායමට අවසානයේ ලකුණු 10ක අනපේක්ෂිත පරාජයක් භාර ගැනීමට සිදු වුනා.

තරගය ක්‍රියාත්මක වුනේ Rajasthan මහගෙදර බඳු වූ Jaipur හිදීයි. කණ්ඩායම් දෙකේ නායකයින් වන KL Rahul සහ Sanju Samson කාසියේ වාසිය උරගා බැලීමේ දී එය හිමි වුනේ Rajasthan කණ්ඩායමටයි. ඔවුන් මුලින් පන්දු යැවීම තෝරා ගත්තා.

මේ අනුව ඉනිම අරඹන්නේ Lucknow නායක KL Rahul සහ කොදෙව් ක්‍රීඩක Kyle Mayers අතින්. මෙම සබඳතාවය ලකුණු 82ක් දක්වාම දළුලා වැඩුණා. Rahul ලකුණු 39ක් රැස් කළේ පන්දු 32කින්. ඔහු හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් එල්ල කළා. Kyle Mayers පන්දු 42කින් ලකුණු 51ක් වාර්තා කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟයි.

නමුත් 11 වැනි පන්දුවාරයෙන් පසු Lucknow ඉනිමේ කඩුලු බිඳ වැටීම ආරම්භ වූ අතර මැදපෙළ පිතිකරුවන් වන Ayush Badoni සහ Deepak Hooda ඊයේ සාර්ථක වුනේ නැහැ. ලකුණු 104ට කඩුලු 4ක් බිඳ වැටීමෙන් පසු Marcus Stoinis (21) සහ Nicholas Pooran (29) නැවතත් ලකුණු 45ක සබඳතාවයක් ගොඩ නැගූව ද, ඔවුන් තුල සිටින ප්‍රවේගකාරී පිතිකරුවා ඊයේ දිනයේ අවදි වුනේ නැහැ.

මේ නිසාම Lucknow කණ්ඩායමට තමන්ට නියමිත පන්දුවාර 20 තුල දී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 154ක් පමණයි. Ravichandran Ashwin ලකුණු 23කට තම පන්දුවාර කෝටාව නිමා කරමින් කඩුලු 2ක් දවා ගත්තේ විශිෂ්ට පන්දු යැවීමක් සනිටුහන් කරමින්. Rajasthan පන්දු යවන්නන් පස් දෙනෙකු පමණක් යොදා ගනිමින් තම ප්‍රතිවාදීන් මෙවන් අඩු ලකුණකට සීමා කිරීම විශේෂ දස්කමක් සේ සැලකිය හැකියි.

මෙවර තරග සමයේ ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා කරමින් රිද්මයේ සිටින Rajasthan පිතිපෙළ මෙම ලකුණු ප්‍රමාණය පහසුවෙන්ම හඹා යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා. සිතූ අයුරින්ම ඔවුන් ඉනිම ආරම්භ කරන්නේ පළමු කඩුල්ලට ලකුණු 87ක් එක් කරමින් අතිසාර්ථක ලෙසයි. තරමක් මන්දගාමී නමුත් Rajasthan කණ්ඩායමට හොඳ ස්ථාවරයක් ගෙන දෙන ඉනිමක් ක්‍රීඩා කළ Jos Buttler පන්දු 41කින් ලකුණු 40ක් රැස් කළා.

අනෙක් අන්තයේ සිටි Yashasvi Jaiswal පන්දු 35කින් ලකුණු 44ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින්. මේ මොහොතේ ඔවුන්ට පහසු ජයක් ලැබෙන බව පෙන්නුම් කළත්, නායක Sanju Samson සහ ප්‍රහාරක පිතිකරු Hetmyer ඉක්මනින් දැවී යාම කණ්ඩායමේ සැලසුම් කණපිට හැරෙව්වා. එහි දී Samson දුවද්දී දැවී ගියේ අනවශ්‍ය ලකුණක් සොරා ගැනීමට තැත් කිරීමේ දීයි.

Devdutt Padikkal ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 21කින් ලකුණු 26ක් රැස් කළ ද, ඔහුට තරගය අවසන් කිරීම වෙනුවෙන් පිටියේ රැඳෙන්නට Avesh Khan ඉඩ තැබුවේ නැහැ. මේ නිසා Rajasthan වරුන්ට අවසන් පන්දුවාරය වෙනුවෙන් ලකුණු 19ක් අවශ්‍ය වූ අතර එහි දී ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 8ක් පමණයි. අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ Avesh Khan ඊයේ දිනයේ මුළු කඩුලු 3කට හිමිකම් කිව්වා.

  • Lucknow Super Giants – කඩුලු 7ක් දැවී ලකුණු 154 (පන්දුවාර 20): Kyle Mayers 51, KL Rahul 39, Nicholas Pooran 29, Marcus Stoinis 21, Ravichandran Ashwin 2/23, Trent Boult 1/16, Sandeep Sharma 1/32.
  • Rajasthan Royals – කඩුලු 6ක් දැවී ලකුණු 144 (පන්දුවාර 20): Yashasvi Jaiswal 44, Jos Buttler 40, Devdutt Padikkal 26, Riyan Parag 15*, Avesh Khan 3/25, Marcus Stoinis 2/28.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගනිමින් පිත්තෙන් ලකුණු 21කුත් රැස් කරනු ලැබූ Marcus Stoinisයි. මේ අනුව තවමත් ප්‍රසාද ලකුණු 8ක් ලබා Rajasthan Royals අංක එකේ රැඳී සිටියත් Lucknow කණ්ඩායම ද ඔවුන්ට දෙවැනි වන්නේ දල ලකුණු වේගය අතින් පමණයි.

Indian Premiere League තරගාවලියේ තරග 2ක් අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතයි. එහි දී Punjab Kings සහ Royal Challengers Bangalore අතර තරගය අද සවස 3.30ටත්, Delhi Capitals සහ Kolkata Knight Riders අතර තරගය අද රාත්‍රි 7.30ටත් ආරම්භ වනු ඇති. එම තරගවල උණුසුම සජීවීව නැරඹීමට මෙන්ම තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<