තුර්කිය අසරණ කරමින් ඉතාලිය තරගාවලිය අරඹයි

Euro 2020

224

ජාත්‍යන්තර පාපන්දු පිටියේ උණුසුම වැඩි කරමින් යුරෝපයේ පාපන්දු ශූරයන් සොයා යන “Euro 2020” පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරග අද (12) ඉතාලියේ රෝම නගරයේ පිහිටි Stadio Olimpico ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

තරගාවලියේ පළමු තරගය ලෙස ඉතාලිය සහ තුර්කිය අතර පැවති තරගයෙන් තුර්කිය පරදවා ගෝල 3-0ක ජයක් ලබා ගන්නට ඉතාලිය සමත්වුනා.

තරගය ආරම්භයේ සිටම ප්‍රබල ඉතාලිය විසින් තුර්කි ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූ අතර තරගයේ 33 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට හිමි වූ අවස්ථාවක් සාර්ථක කරගන්නට ඉතාලි ක්‍රීඩකයන්ට හැකි වුනේ නැහැ.

පළමු අර්ධයේ අමතර කාලයේ දී පන්දුව තුර්කි දඬුවම් සීමාවේ දී තුර්කි ක්‍රීඩකයෙකුගේ අතේ දැවටීම නිසාවෙන් ඉතාලි ක්‍රීඩකයන්ට දඬුවම් පහරක් හිමිවීමට විශාල ඉඩක් පැවතිය නමුත් VAR තාක්ෂණය ඔස්සේ එම අවස්ථාව නැවත නැරඹීමෙන් පසු දඬුවම් පහරක් ලබා නොදීමට තරග විනිසුරුවරයා තීරණය කළා. 

එම නිසාවෙන් තරගයේ පළමු අර්ධය ගෝල රහිතව අවසන් කිරීමට දෙපිලේම ක්‍රීඩකයන්ට සිදු වුනා.

පළමු අර්ධය: ඉතාලිය 00 – 00 තුර්කිය 

තරගයේ පළමු ගෝලය ඉතාලි ක්‍රීඩකයන්ට පරිත්‍යාග කිරීමට තුර්කි ක්‍රීඩකයන්ට සිදු වුනේ තරගයේ 53 වැනි මිනිත්තුවේ දීයි. ඒ ඉතාලි ක්‍රීඩක Domenico Berardi විසින් ගෝලයට යොමු කළ පන්දුවක් තුර්කි ක්‍රීඩක Merih Demiralගේ ඇගෙහි වැදී ගෝලයට යොමුවීමෙන්.

නැවතත් තරගයේ 66 වැනි මිනිත්තුවේ දී ඉතාලි ක්‍රීඩක Leonardo Spinazzola එල්ල කළ පහරක් තුර්කි ගෝල රකින්නා නවතාලීමට සමත් වූ නමුත් එහි දී පෙරලා පැමිණ පන්දුව ලබා ගත් Ciro Immobile ගෝලය වෙත පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමේ දෙවැනි ගෝලය රැස්කිරීමට සමත් වුනා.

තරගය සම්පූර්ණ වශයෙන්ම සිය ආධිපත්‍යට නතු කරගැනීමට ඉතාලි ක්‍රීඩකයන්ට හැකි වූ අතර තරගයේ 79 වැනි මිනිත්තුවේ දී Ciro Immobile විසින් ලබා දුන් පන්දුවක් Lorenzo Insigne සාර්ථකව ගෝලය වෙත එල්ල කිරීමට සමත් වුනේ තරගයේ සම්පූර්ණ ගෞරවය ඉතාලියට දිනා දෙමින්.

තරගය අවසන් වන තුරුම කිසිදු සටනක් ඉතාලි කණ්ඩායමට ලබා දීමට තුර්කි ක්‍රීඩකයන්ට නොහැකි වූ නිසාවෙන් ගෝල 3-0ක් ලෙස පහසු ජයකින් තරගාවලිය ආරම්භ කිරීමට ඉතාලිය සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ඉතාලිය 03 – 00 තුර්කිය 

ගෝල රැස් කළ ක්රීඩකයෝ

  • ඉතාලිය Merih Demiral 53’ (OG), Ciro Immobile 66’, Ciro Immobile 79’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<