Sirajට තරග පාවා දෙන්න ඇරයුම් ලැබිලා

India vs Australia 2023/ IPL 2023

1648

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ Royal Challengers Bangalore කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු යවන්නකු වන Mohommed Siraj විසින් තමන් හට මුදලට තරග පාවා දීමට ඇරයුම් ලැබුණු බව හෙළිදරව් කර තිබෙනවා.

Siraj විසින් BCCI දූෂණ විරෝධී ඒකකය (ACU) වෙත දැනුම් දී ඇත්තේ තමන්ට මුදල් ඔට්ටු ඇල්ලීමෙන් විශාල මුදලක් අහිමි වූ තැනැත්තෙකු විසින් කණ්ඩායමේ අභ්‍යන්තර තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලීමක් සිදු කළ බවයි.

මේ පිළිබඳ වාර්තා කරමින් ESPN cricinfo වෙබ් අඩවිය විසින් සඳහන් කරන්නේ මෙම සිදුවීම 2023 IPL තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවැත්වුණු ඉන්දු – ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදු වී ඇති බවයි.

“Siraj ළඟට ආවේ බුකී කාරයෙක් නෙවෙයි. ඒ මුදල් ඔට්ටු ඇල්ලීම් වලට ඇබ්බැහි වුන හයිද්‍රාබාද් වල රියදුරෙක්. ඔහුට මුදල් ඔට්ටු ඇල්ලීම් නිසා ලොකු මුදලක් අහිමි වෙලා තියෙනවා. ඒ නිසා Siraj මාර්ගයෙන් කණ්ඩායමේ අභ්‍යන්තර තොරතුර ලබා ගන්නයි ඔහු උත්සාහ කරලා තියෙන්නේ.”

BCCI ඉහළ නියෝජිතයෙකු විසින් ඉන්දීය පුවත් සේවයක් වන PTI වෙත මේ බව හෙළිදරව් කර තිබෙනවා. එමෙන් ම තමන්ට එම ඉල්ලීම ලැබුණු වහාම Siraj විසින් ඒ පිළිබඳ ACU වෙත දන්වා ඇති බවයි එම නියෝජිතයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

“Siraj මේ බව වහාම වාර්තා කළා. ඒ වගේ ම මේ පිළිබඳ ව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් අදාළ පුද්ගලයා ව අත්අඩංගුවටත් ගත්තා.”

මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි බවත් ඔහු විසින් සඳහන් කර තිබුණා.

IPL තරගාවලියක් පැවැත්වෙමින් තිබෙන කාලයක් නිසා ම මේ දින වල මුදලට ඔට්ටු ඇල්ලීම් පිළිබඳව සහ තරග පාව දීම් පිළිබඳව කතාබහ නැවතත් කරළියට පැමිණෙමින් ඇති අතර Sirajගේ මෙම සිදුවීම සමඟින් එය තවත් වර්ධනය වනු ඇත. (මෙම සිදුවීම සම්බන්ධයෙන් පුවත් වාර්තා කරන ඉන්දීය මාධ්‍ය මගින් මෙය මෙවර IPL තරගාවලියට ද ඈඳා තිබෙනවා.)

එමෙන් ම මීට පෙර පැවැත්වුණු IPL තරගාවලි වල දී Rajasthan Royals නියෝජනය කළ S Sreesanth, Ankeet Chavan සහ Ajit Chandila යන ක්‍රීඩකයින් ව තරග පාව දීම් වලට සම්බන්ධ වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අතර, Chennai Super Kings හිටපු නිලධාරියෙක් වන Gurunath Meyiyappanව ද එවැනි ම චෝදනාවක් (2013 දී) යටතේ අත්අඩංගුවට ගැනුණා.

එමෙන් ම මෙවැනි සිදුවීම් නිසා ම ක්‍රීඩකයින් සඳහා ACU වෙතින් දූෂිත ප්‍රවේශ පිළිබඳ දැනුවත් කිරීමට සහ වැනි ඇරයුම් වාර්තා කිරීමට පෙළඹවීම සඳහා වැඩමුළු පවා සංවිධානය කර තිබෙන බවයි ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරන්නේ.

මෙම සිදුවීම පිළිබඳ සියලු ම තතු විත්ති ඉදිරියේ දී ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. එමෙන්ම මෙවර IPL තරගාවලියේ සියලු ම තරග ද ThePapare.com වෙබ් අඩවියෙන් නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වී තිබෙනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<