පාකිස්තාන පිතිකරුවාගේ හිසට ආබාධයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

575

පාකිස්තාන කණ්ඩායම ඊයේ (21) සිදු කළ පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් නිසාවෙන් වමත් පිතිකරු Shan Masood ස්කෑන් පරීක්ෂාවක් සඳහා රෝහල් ගත කර තිබෙනවා.

33 හැවිරිදි Masood පන්දුවට පහර දීමට බලා සිටින අතරවාරයේ දී ඔහුගේ හිසේ පැත්තට පන්දුවක් වැදීම නිසාවෙන් ක්‍රීඩාංගණය තුළ ඇද වැටී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ කණ්ඩායමේ වෛද්‍යවරයා ඔහුට ප්‍රතිකාර කර තිබුණා.

ප්‍රතිකාරවලින් අනතුරුව ඔහු පුහුණුවීම් සිදු කළ ස්ථානයෙන් ඉවතට ඇවිද යනු දක්නට ලැබීමට හැකිව තිබූ අතර පසුව වැඩි දුර පරීක්ෂණ සඳහා ඔහුව රෝහල් ගත කිරීමට කණ්ඩායම් බලධාරීන් කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් මෙය හිසෙහි ආබාධ තත්වයක් නිසා ඔහුව වෛද්‍ය කණ්ඩායමේ නිරීක්ෂණය යටතේ තැබීමට බොහෝ ඉඩක් ඇති අතර එම නිසාවෙන් ඔහුට ඉරිදා (23) පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට ලැබේ දැයි කනස්සල්ලෙන් යුතුව බලා සිටීමට සිදු වනවා.

මෑත කාලයේ දී නැවතත් පාකිස්තාන විස්සයි විස්ස සංචිතයට කැඳවීමෙන් අනතුරුව Masood විස්සයි විස්ස තරග 12ක දී කණ්ඩායම නියෝජනය කරමින් අර්ධ ශතක දෙකක් රැස් කළා.

ඔහුව ස්කෑන් පරීක්ෂණවලට යොමු කිරීමෙන් පසුව ඔහුගේ තත්වය සාමාන්‍ය බව සහ ඔහුට ඇත්තේ පන්දුව වැදුණු ස්ථානයේ මතුපිට තැලීම් පමණක් බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කළා.

ඔහුව අද (22) නැවත වරක් කම්පන පරීක්ෂාවකට ලක් කරන බව ද පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

යම් හෙයකින් Shan Masoodට ඉන්දීය තරගය අහිමි වුවහොත් ඔහුගේ ස්ථානය සඳහා අවසන් මොහොතේ කණ්ඩායමට එක් වූ Fakhar Zaman කැඳවීමට වැඩි ඉඩක් ඇති බව ද වාර්තා වෙනවා.

ආබාධයට ලක්ව සිටීම නිසාවෙන් පළමුවෙන් නම් කළ පාකිස්තාන සංචිතයට ඇතුළත් නොවූ Fakhar Zamanව පසුව Usman Qadirගේ ස්ථානයට ආදේශ කරමින් මූලික සංචිතයට එක් කිරීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කළා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<