බංග්ලාදේශය පරාජය කළ  ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට

ACC Rising Stars Asia Cup 2026

3
cricket

කටාර් හි දී පැවැත්වෙන ACC Rising Stars ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තමන් මුහුණ දුන් 3 වැනි තරගය ද පහසුවෙන් ම ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

A කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට නිමා වූ පළමු වටයේ තරග අතුරින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත් වුණා. ඔවුන් අවසන් වරට පරාජය කරන්නේ බංග්ලාදේශ A කාණ්ඩයමයි.

Doha හී Science and Technology විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 145ක් පමණයි.

ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් පන්දු 169ක් ද ඉතිරි කර ගනිමින් කඩුලු 3ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

>>ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ 2 වැනි තරගයත් ජය ගනී<<

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ වෙනස්කම් 2ක් සිදු කරමිනුයි. ඒ පෙර තරගය හා එක් ව සිටි චාමික හීනටිගල සහ දුවිඳු රණතුංග වෙනුවට ලහිරු සමරකෝන් සහ රවිඳු ප්‍රනාන්දු එක් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම

 

පවන් රත්නායක (නායක), ලසිත් කෲස්පුල්ලේ, සිනෙත් ජයවර්ධන, නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, ජනිත් ලියනගේ, වනුජ සහන්, ලහිරු සමරකෝන්, රවිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත් සහ දුලාජ් සමුදිත.

 

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම

 

Saif Hassan (නායක), Parvez Hossain Emon (කඩුලු රකින්නා), Shahadat Hossain, Iftakhar Hossain Ifti, Afif Hossain, Sabbir Rahman, Samiun Basir, Chowdhury Md Rizwan, Md Rubel, Rakibul Hasan සහ Ripon Mondol.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉනිම ආරම්භ කළ නායක Saif Hassan සහ Parvez Hossain Emon සමත් වෙනවා. ඔවුන් දෙදෙනා 1 වැනි කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 55ක සබඳතාවක් ගොඩ නගනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Parvez Hossain Emon ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිම හැර යද්දී පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා.

Saif Hassan ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා. ඔහු 2 වැනි කඩුල්ලට Shahadat Hossain (13) හා එක් ව පන්දු 25ක දී ලකුණු 22ක සබඳතාවක් ද එක් කරනවා.

බංග්ලාදේශ ඉනිමේ සිව් වැනි සහ 5 වැනි කඩුලු ද ඉතා ඉක්මනින් දැවී යන අතර ඒ අනුව ඉනිමේ 18 වැනි පන්දුවාර ක්‍රියාත්මක වෙද්දී ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 5ක් දැවී ලකුණු 81ක් ලෙසයි.

ඒ අතර කාලයේ දී එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි Iftakhar Hossain Ifti ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන රවිඳු ප්‍රනාන්දු ලකුණු 30කට කඩුලු 4ක් දවා ගනිමින් බංග්ලාදේශ ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදී පන්දු යවන්නා බවට පත් වුණා. ඊට අමතර ව වනුජ සහන් ලකුණු 20කට කඩුලු 2ක් ද, විජයකාන්ත් වියස්කාන්ත ලකුණු 22කට කඩුලු 2ක් ද සහ දුලාජ් සමුදිත කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම  ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන විසින් ආරම්භ කළ ද ඔවුන් දෙදෙනා විසින් 1 වැනි කඩුල්ලට එක් කරන්නේ පන්දු 13ක දී ලකුණු 23ක් පමණයි.

සිනෙත් ජයවර්ධන පන්දු 8ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 11කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

අනතුරු ව ලසිත් කෲස්පුල්ලේ සහ නිශාන් මදුශ්ක එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 48ක් දී ලකුණු 38ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ලසිත් කෲස්පුල්ලේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණ 29ක් ලබා සිටියා.

නිශාන් මදුශ්ක ඉනිම අවසන් වෙද්දී පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියා. ඔහු එම ඉනිම තුළ දී නායක පවන් රත්නායක හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 81ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී පවන් රත්නායක පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියා.

නිපුන් ධනංජය තමන් මුහුණ දුන් පළමු පන්දුවට ම හතරේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී Afif Hossain, Rakibul Hasan සහ Samiun Basir කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 145 (42.5) Saif Hassan 28, Parvez Hossain Emon 32, Iftakhar Hossain Ifti 31, රවිඳු ප්‍රනාන්දු 4/30, වනුජ සහන් 3/20, විජයකාන්ත් වියස්කාන්ත් 2/22
  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 146 (21.5) ලසිත් කෲස්පුල්ලේ 29, නිශාන් මදුශ්ක නොදැවී 51, පවන් රත්නායක 45, Afif Hossain 1/06

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.  

තරගයේ වීරයා – රවිඳු ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව)

මෙම තරග ජයග්‍රහණයත් සමඟි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ මස 26 වැනිදා Doha හී Science and Technology විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 1 වැනි අවසන් පූර්ව තරගයට සහභාගී වීමට නියමිත අතර ඊට සහභාගී වන ඔවුන්ගේ ප්‍රතිවාදීන් තීරණය කෙරෙන්නේ පළමු වටයේ B කාණ්ඩයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් අනුව සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානයට පත් වෙන කණ්ඩායමයි.

දැනට එහි පළමු ස්ථානයේ පාකිස්තාන A කණ්ඩායම රැඳී සිටින අතර 2 වැනි ස්ථානයේ ඉන්දීය A කණ්ඩායම රැඳී සිටිනවා.

ACC Rising Stars ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<