Ronaldoගේ උත්සාහය අපතේ; අනෙක් තරග සමව අවසන්

Euro 2020

151

“Euro 2020” පාපන්දු තරගාවලියේ මූලික වටයේ තවත් තරග ත්‍රිත්වයක් (F සහ E කාණ්ඩයේ) ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (19) රාත්‍රියේ සහ අද (20) උදෑසන පැවැත්වුණා.

එහි දී පෘතුගාලය පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට ජර්මනිය සමත් වූ අතර හංගේරියා – ප්‍රංශ තරගය සහ ස්පාඤ්ඤ – පෝලන්ත තරගය සමව අවසන් වුනා.

Hungary v France

F කාණ්ඩයේ තරගයක් ලෙස හංගේරියාවේ Puskás Aréna ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ගෝල 1-1ක් ලෙස සමව අවසන් වුනා.

තරගය ආරම්භයේ සිටම සත්කාරකයන්ට දැඩි පීඩනයක් එල්ල කළ ප්‍රංශ ක්‍රීඩකයන් විසින් ගෝල රාමුවට පහරවල් කිහිපයක් එල්ල කළ නමුත් හංගේරියානු ගෝල රකින ක්‍රීඩක Peter Gulacsiගේ දක්ෂ නවතාලීම් නිසා එම පහරවල් ගෝලයන් බවට පරිවර්තනය කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

පළමු අර්ධයේ අතිරේක කාලයේ දී දඬුවම් රාමුවෙන් පිටත දී ලද පන්දුවක් ප්‍රංශ ක්‍රීඩකයන් පසුකරමින් දඬුවම් රාමුවට ගෙනවිත් ගෝලයේ වම් කෙළවරින් දැලට යොමු කිරීමට හංගේරියානු ක්‍රීඩක Attila Fiola සමත් වුනේ ලෝක ශූරයන් පළවෙනි අර්ධයේ දී පසුපසට ඇද දමමින්.

තරගයේ 49 වැනි මිනිත්තුවේ දී නැවත වරක් ප්‍රංශ ක්‍රීඩකයෙකු ගෝලයට එල්ල කළ පන්දුවක් අලංකාර ලෙස වළක්වන්නට Peter Gulacsi සමත් වූවත් 66 වැනි මිනිත්තුවේ දී හංගේරියානු දඬුවම් සීමාවේ දී ලද පන්දුවක් ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට Antoine Griezmannට හැකි වුනා.

Peter Gulacsi

නැවතත් 82 වැනි මිනිත්තුවේ දී ප්‍රංශ ක්‍රීඩක Kylian Mbappe ගෝල රාමුවට එල්ල කළ පහරක් දක්ෂ ලෙස වළක්වමින් ලෝක ශූරයන් ඉදිරියේ තරගය සමව අවසන් කරදීමට හංගේරියානු ගෝල රකින ක්‍රීඩක Peter Gulacsiට හැකි වුනා. 

අවසන් ලකුණු තත්වය: හංගේරියාව 01 – 01 ප්‍රංශය

ගෝල ලාභීන්:

  • හංගේරියාව: Attila Fiola 45+2’
  • ප්‍රංශය: Antoine Griezmann 66’

Portugal v Germany

ජර්මනියේ Munich හී Allianz Arena ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය උණුසුම් සටනකින් පසු Cristiano Ronaldoගේ නායකත්වයෙන් යුතු පෘතුගාලය ගෝල 4-2ක් ලෙස පරදවමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගන්නට ජර්මනිය සමත් වුනා.

පෙර තරගයේ ලද පරාජය නිසාවෙන් මෙම තරගය ජර්මනියට ජය ගත යුතුම තරගයක් වූ අතර 6 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස්කිරීමට ජර්මන් ක්‍රීඩක Robin Gosens සමත් වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසා එය අවලංගු කිරීමට විනිසුරුවන් තීරණය කළා.

එයින් කෙටි වේලාවකට පසු තරගයේ 15 වැනි මිනිත්තුවේ දී වේගවත් පන්දු හුවමාරු කිහිපයක් ඔස්සේ ප්‍රතිවාදී ගෝල රකින්නා ආසන්නයට ගෙනවිත් පෘතුගාල ක්‍රීඩක Diogo Jota විසින් ලබා දුන් පන්දුවක් පහසුවෙන්ම ගෝලයට එල්ල කරමින් ජර්මනිය සමඟ පැවති ගෝල ඉඩෝරය නිමා කිරීමට පෘතුගාල නායක Cristiano Ronaldoට හැකි වුනා.

Cristiano Ronaldo ගෝලය ලබාගත් අවස්ථාව

නමුත් පෘතුගාල ප්‍රේක්ෂකයන්ගේ සතුට කෙටි වේලාවක් තුළ අහිමි කරමින් මිනිත්තු හතරක් තුළ Own Goal ද්විත්වයක් ප්‍රතිවාදීන්ට ලබා දීමට පෘතුගාල පසුපෙළ ක්‍රීඩකයන්ට සිදු වුනේ ජර්මනියට පළමු අර්ධයේ පෙරමුණ ඔවුන් විසින්ම ලබා දෙමින්.

35 වැනි සහ 39 වැනි මිනිත්තුවල දී ජර්මානු ක්‍රීඩක Joshua Kimmich විසින් දඬුවම් සීමාවට යොමු කළ පන්දු එම සීමාවෙන් ඉවත් කිරීමට උත්සහ කිරීමේ දී පෘතුගාල පසුපෙළ ක්‍රීඩකයන් වන Rúben Diasගේ (35’) සහ Raphael Guerreiroගේ (39’) පාදවල වැදීමෙන් ගෝලයට යොමු වීම නිසා ජර්මානු කණ්ඩායමට ගෝලයන් හිමි වුනා.

පෘතුගාල ක්‍රීඩකයින්ට තවත් පීඩනයක් එක්කරමින් ජර්මානු කණ්ඩායම වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කිරීමට Kai Havertz සමත් වුනේ තරගයේ 51 වැනි මිනිත්තුවේ දීයි. Robin Gosens දඬුවම් රාමුව තුළ දී ලබා දුන් පන්දුවක් ගෝල රකින්නාගෙන් හිස් වූ ගෝලයට යොමු කිරීමට ඔහු සමත් වුනා.

Kai Havertz ගෝලය ලබාගත් අවස්ථාව

එම ගෝලයේ උණුසුම පහව යාමටත් පෙර තරගයේ 60 වැනි මිනිත්තුවේ දී Joshua Kimmich ලබා දුන් පන්දුවක් හිසින් ගෝලයේ වම් රාමුවෙන් දැල තුළට යොමු කිරීමට ජර්මන් ක්‍රීඩක Robin Gosens සමත් වුනේ තරගයේ මුළු ආධිපත්‍ය සිය කණ්ඩායමට ගෙන දෙමින්.

ජර්මානු කණ්ඩායමට පිළිතුරු ලෙස තරගයේ 67 වැනි මිනිත්තුවේ දී Cristiano Ronaldo ගෝලය අසලට ලබා දුන් පන්දුවක් සාර්ථකව දැල වෙත එල්ල කරමින් සිය කණ්ඩායම නැවතත් තරගයට ගෙන ඒමට පෘතුගාල ක්‍රීඩක Diogo Jota සමත් වූවත් තරගයේ සම්පූර්ණ කාලය අවසන් වනතුරු තවත් කිසිදු ගෝලයක් රැස්කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ

අවසන් ලකුණු තත්වය: ජර්මනිය 04 – 02 පෘතුගාලය 

ගෝල ලාභීන්:

  • පෘතුගාලය: Cristiano Ronaldo 15’, Diogo Jota 67’
  • ජර්මනිය: Rúben Dias 35’ (OG), Raphael Guerreiro (OG), Kai Havertz 51’, Robin Gosens 60’

Spain v Poland

ස්පාඤ්ඤයේ සත්කාරකත්වයෙන් San Mamés ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ගෝල 1-1 ලෙස සමව අවසන් වුනා.

තරගාවලියේ පළමු ජයග්‍රහණය අපේක්ෂාවෙන් පිටියට පිවිසි ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය 25 වැනි මිනිත්තුවේ දී රැස් කිරීමට Alvaro Morata සමත් වුනා. ඒ Gerard Moreno ලබා දුන් පන්දුවක් සාර්ථකව ප්‍රතිවාදී ගෝලයට එල්ල කරමින්.

එම ගෝලය ලබා ගත් අවස්ථාවේ Morata අනිසි ස්ථානයක සිටි බව තීරණය කරමින් ගෝලය අවලංගු කිරීමට පැති විනිසුරුවරයා තීරණය කළ නමුත් එම ගෝලය VAR තාක්ෂණය ඔස්සේ නැවත නැරඹීමෙන් පසු ගෝලය නීත්‍යනුකූල ගෝලයක් බවට පත්කිරීමට විනිසුරුවරයා කටයුතු කළා.

එම අර්ධයේම 43 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ගෝල රාමුවෙහි වැදී තමා වෙත පැමිණි පන්දුවක් නැවත ගෝලය වෙත එල්ල කිරීමට පෝලන්ත නායක Robert Lewandowski සමත් වූ නමුත් එම පන්දුව සාර්ථකව වැළැක්වීමට ස්පාඤ්ඤ ගෝල රකින ක්‍රීඩක Unai Simon සමත් වුනේ ස්පාඤ්ඤ නරඹන්නන් පවා විමතියට පත් කරමින්.

නමුත් තරගයේ 54 වැනි මිනිත්තුවේ දී පෝලන්ත ක්‍රීඩක Jóźwiak surges දඬුවම් රාමුවට යොමු කළ පන්දුවක් හිසින් ගෝලයේ වම් කෙළවරින් දැල තුළට යොමු කරමින් ගෝල තත්වය සමකිරීමට පෝලන්ත නායක Robert Lewandowski සමත් වුනා.

Robert Lewandowski ගෝලය ලබාගත් අවස්ථාව

එම ගෝලයෙන් සුළු වේලාවක් පසු එනම් තරගයේ 58 වැනි මිනිත්තුවේ දී පෝලන්ත ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසාවෙන් ලද දඬුවම් පහර අවස්ථාව සාර්ථක කරගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩක Gerard Morenoට හැකි වුනේ නැහැ.

Gerard Moreno විසින් එල්ල කළ දඬුවම් පහර අවස්ථාවේ ගෝලයේ වම් රාමුවෙහි වැදී නැවත පැමිණි පන්දුව ස්පාඤ්ඤ ක්‍රීඩක Alvaro Morata ලබා ගැනීමට සමත් වූ නමුත් ඔහුට එය සාර්ථකව ගෝලයට එල්ල කිරීමට නොහැකි වුනේ තරගයේ පෙරමුණ ගැනීමට ස්පාඤ්ඤයට හිමි වූ තවත් අවස්ථාවක් අපතේ යවමින්.

නැවතත් තරගයේ 84 වැනි මිනිත්තුවේ දී දඬුවම් සීමාව තුළ සිට Alvaro Morata එල්ල කළ පහරක් ඉතා දක්ෂ ලෙස නවතමින් ස්පාඤ්ඤයේ ජයග්‍රාහී බලාපොරොත්තුවලට තිත තැබීමට පෝලන්ත ගෝල රකින්නා සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: පෝලන්තය 01– 01 ස්පාඤ්ඤය

ගෝල ලාභීන්:

  • ස්පාඤ්ඤය: Alvaro Morata 25’
  • පෝලන්තය: Robert Lewandowski 54’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්රීඩා පිටුවට <<