පැතුම් සහ ප්‍රමෝද්ගේ තත්වය යහපත් අතට

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

5967

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය අතරතුර ආබාධවලට ලක් වූ පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුශාන් හෙට (22) පැවැත්වීමට නියමිත පුහුණුවීම්වලට සහභාගී වීමට හැකි යෝග්‍යතා මට්ටමේ සිටින බව වාර්තා වෙනවා.

තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අනිද්දා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව එම තරගයට ද ඔවුන් දෙදෙනාට සහභාගී වීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වූ නෙදර්ලන්තය සමඟ තරගයේ දී ඇති වූ ආබාධ (groin strain) තත්වයක් නිසා පැතුම් නිස්සංක පන්දු රැකීමෙන් ඉවත්ව සිටි අතර පසුව සිදු කළ පරීක්ෂාවක දී ඔහුගේ තත්වය බරපතළ නොවන බව තහවුරු වී තිබුණා.

එය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා සතුටුදායක පුවතක් වූ නමුත් ඔහු ඉරිදා (22) පැවැත්වෙන පළමු තරගයට ක්‍රීඩා කරයි ද, නැද්ද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

වර්තමානයේ සිටින සාර්ථකම ආරම්භක පිතිකරුවෙකු වන පැතුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ ද ජයග්‍රාහී ඉනිමක් ක්‍රීඩා කළ අතර ඔහු කණ්ඩායමේ සාර්ථකත්වයට ඉතා වැදගත් ක්‍රීඩකයෙකු වන නිසා ඉදිරි තරගවලට ඔහුව ආරක්ෂා කර ගැනීමට ඔහුව විවේක ගැන්වීමට ද තරමක ඉඩක් තිබෙනවා.

කෙසේ නමුත් පැතුම් ඉරිදා පැවැත්වීමට නියමිත තරගය ක්‍රීඩා නොකළහොත් කුසල් මෙන්ඩිස් සමඟ ඉනිම ආරම්භ කරන්නේ කවුරුන් දැයි යන ගැට‍ළුවට ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදු වනවා.

එමෙන්ම වමත් පිතිකරු ධනුෂ්ක ගුණතිලක ද ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත්ව සිටීම නිසා පැතුම් ද විවේක ගැන්වීමට සිදු වුවහොත් සංචිතයේ සිටින සියලූම පිතිකරුවන් භාවිතා කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වනවා.

පැතුම්ට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේ දී ආබාධයට ලක් වූ ප්‍රමෝද් මධුශාන් නෙදර්ලන්තයට එරෙහි තරගය ක්‍රීඩා නොකළ අතර එම තරගයේ ශ්‍රී ලංකා වේගපන්දුවේ වගකීම දැරුවේ බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාරයි.

කෙසේ නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරගයේ ද කැපී පෙනෙන දස්කම් දැක්වූ ප්‍රමෝද්ගේ තත්වය යහපත් අතර පැමිණ ඇති නිසා ඔහුව ඉරිදා තරගයට එක් කිරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කරනු තිබෙනවා.

මෙම තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ කිහිපයක්ම වාර්තා වූ අතර කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් තිදෙනෙකු වන දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක සහ ධනුෂ්ක ගුණතිලකට ආබාධ නිසා තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<