මීට වසර 15කුත් දින 242කට පෙර ඉන්දියාවේ Bihar ප්‍රාන්තයේ Samastipur දිස්ත්‍රික්කයේ Tajpur නම් කුඩා ගම්මානයේ ගොවි පවුලක උපත ලැබූ පුංචි කොල්ලෙක් ලෝක ක්‍රිකට් ඉතිහාසයට විශ්මිත වාර්තා එකතු කරන්නෙක් වී සිටී.
යම් තම් බහතෝරන වියේ දී ම ක්‍රිකට් ක්‍රීඩාවේ අක්මුල් ඉගෙන ගැනීමට ඔහුට හැකි වෙන්නේ පියා තුළ තිබූ ක්‍රිකට් පිස්සුව නිසා ය. මේ කතා නායකයාගේ පියා තරුණ කාලයේ දී ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමට සිහින මැවූවෙකි. එහෙත් පවුලේ පැවැති මුදල් අඟහිඟකම් සහ ජීවත් වූ පරිසරය තුළ ක්‍රිකට් ක්‍රීඩාව එතරමට ම නොපැවැතීම හේතුවෙන් ඔහුට ඒ සිහිනයේ හරියාකාරයෙන් සැරි සැරීමට හැකි වෙන්නේ නැත.
කාලයක් ගත වෙද්දී ඔහු ගේ මේ සිහිනය තම පුතාගෙන් හෙවත් අප කතානායකයාගෙන් ඉටු කර ගැනීමට මේ තරුණ පියා කටයුතු කරන්නේ ය. ඔහු අප කතානායකයාට බහතෝරන වයසේ සිට ම ක්‍රිකට් ක්‍රීඩාව ද පුහුණු කරන්නේ ය. ඒ ඔවුන්ගේ නිවස පිටුපස පුහුණු තණතීරුවක් සකස් කරමින් අසල්වැසි දරුවන් හා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට අවස්ථාව ලබා දෙමිනි.
ඉන් නොනවතින ඔහු අප කතානායකයාට වයස අවුරුදු 9ක් වන විට Samastipur හී පුහුණු ඇකඩමියකටත් සහ ඉන් අනතුරු ව තවත් පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් Patna හී Manish Ojha ගේ පුහුණු ඇකඩමියටත් යොමු කෙරුණි.
එය ඉතා දුෂ්කර කාලයක් විය. පුහුණුවීම් වෙනුවෙනුත් තරග වෙනුවෙනුත් යා යුතු වූ දුර බොහෝ ය. ඒ හේතුවෙන් ම අප කතානායකයාට ළමා කාලයක් නොවී ය. ඔහුගේ පවුලේ මව සහ පියාට කුටුම්බයේ වෙනත් අවශ්‍යතා නොවූ තරම් ය. ඔවුන්ගේ අගහිඟකම් පිරි නිවස පිරී තිබුණේ අප කතානායකයාගේ ක්‍රිකට් විශ්වාසය ම මත ය. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑ ම කැප වීමක් කිරීමටත්, ඒ සියල්ල දැරීමට සූදානමින් සිටිය හ.
ඒ කාලයේ අප කතානායකයාගේ ක්‍රිකට් පුහුණුවීම් සඳහාත්, තරග සඳහාත් වැය වන මුදල අති-මහත් ය. එවන් අවස්ථාවල දී ගත යුතු අසීරු තීරණ පවා අප කතානායකයාගේ දක්ෂතා කෙරෙහි විශ්වාසය තබමින් ගැනීමට ඔවුන් පසු බට වූයේ නැත. එවන් අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් සතු ව පැවැති පාරම්පරික ගොවිබිම් පවා විකුණා දැමීමට ඔවුන් කටයුතු කර තිබුණි.
එකී කැපවීම්වල ප්‍රතිඵලය අප කතානායකයාට වයස අවුරුදු 12ක් සපිරෙද්දී සපුරා ගැනීමට ඔවුන් සමත් වෙන්නේ ය. ඒ ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ක්‍රිකට් තරගාවලියක් වන පළමු පෙළ Ranji කුසලාන තරගාවලියට Bihar ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගනිමිනි.
තම මංගල තරගාවලියේ දී අප කතානායකයා ගේ දක්ෂතාව වූයේ තරග 2ක ඉනිම් 4ක දී රැස් කරනු ලැබූ ලකුණු 31කි.
ඊට පසු වසරේ දී අප කතානායකයා, ඉන්දියන් ප්‍රිමියර් ලීග් හෙවත් IPL තරගාවලි වෙන්දේසියේ දී ඉන්දියන් රුපියල් කෝටි 1.10කට අලෙවි වෙමින් ඊට එක් වූ ළාබාලත ම ක්‍රීඩකයා බවට ද පත් වූයේ ය.
එමෙන් ම IPL තරග ඉතිහාසයේ ළාබාලතම ශතකලාභියා බවට ද ඔහු පත් වුයේ ය. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 14ක් විය. එමෙන් ම ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වරම් දිනා ගත් ළාබාලතම ක්‍රීඩකයා වූයේ ද අපගේ මේ කතානායකයායි.
- බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට
- පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව අපරාජිත ව අවසන් මහා තරගයට
අප ගේ මේ කතානායක Vaibhav Sooryavanshi පසුගියදා හරි අපූරු ලෝක වාර්තාවක් කිහිපයක් ම පිහිට වූයේ ය. ඒ අතර වඩාත් ඉහළින් ම පැවැතියේ List A හෙවත් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරග ලෝක ඉතිහාසයේ වේගවත් ම ද්විත්ව ශතකය වාර්තා කරමිනි.
එක්සත් අරාබි එමීර රාජ්‍ය කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද ඉනිමේ දී ඔහු පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 28ක් සමඟින් ලකුණු 204ක් ලබා ගත්තේ ය. ඉන් ලකුණු 196ක් ම ලබා ගන්නේ හයේ පහර සහ හතරේ පහරවලින් වීම විශේෂත්වයක් වූ අතර ඔහුගේ මේ මායාකාර ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 384.91ක් ලෙසින් සටහන් වූයේ ය.
ඔහු තම ඉනිමේ දී ලකුණු 50 පන්දු 11ක දී ද, ලකුණු 100 පන්දු 28ක දී ද, ලකුණු 150 පන්දු 40ක දී ද සහ ලකුණු 200 පන්දු 52ක දී ද රැස් කරන්නේ ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 254ක් රැස් කිරිමට ද ඉඩහසර ලබා දෙමිනි.
Vaibhav Sooryavanshi ගේ මෙම ඉනිමත් සමඟින් ක්‍රිකට් ඉතිහාසයට එක් වූ සුවිශේෂී කඩඉම්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම සමඟින් පැවැති මෙම තරගයේ දී Vaibhav Sooryavanshi විසින් වාර්තා කරන ලද ලකුණු 100, 150 සහ 200 List A පිටියේ වේගවත් ම ලකුණු කඩඉම් බවට පත් වූයේ ය.
ඒ අනුව..,
100 : ඔහුට තම ශතකය සඳහා වැය කරන්නේ පන්දු 28ක් පමණක් වන අතර ඊට පෙර එම වාර්තාව හිමි ව තිබුණේ South Australia කණ්ඩායමේ Jake Fraser-McGurk, 2023/24 එක්දින කුසලානයේ දී Tasmania කණ්ඩායමට එරෙහි ව පන්දු 29කින් ලබා සිටි ශතකයටයි.
150 : පන්දු 40කින් වාර්තා කරන ලද Vaibhav Sooryavanshi ගේ ලකුණු 150 වාර්තාව ඊට පෙර සතු ව තිබුණේ පෙර වසරේ ඔහු විසින් ම Arunachal Pradesh කණ්ඩායමට එරෙහි ව පන්දු 59කින් ලබා ගත් ඉනිමටයි.
200 : එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවැති මෙම තරගයේ දී Vaibhav Sooryavanshi පන්දු 52කින් ලබා ගත් ද්විත්ව ශතකය ලොව වේගවත් ම List A ද්විත්ව ශතකය බවට පත් වූයේ 2024/25 Ford කුසලාන තරගවාරයේ දී Otago කණ්ඩායමට එරෙහි ව Canterbury කණ්ඩායම නියෝජනය කළ නවසීලන්ත ක්‍රීඩක Chad Bowes විසින් පන්දු 103ක දී ලබා ගත් ද්විත්ව ශතකය පසු කරමිනුයි.
මෙම තීරණාත්මක කඩඉම්වලට අමතර ව Vaibhav Sooryavanshi පසුගිය වසරේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහි ව පන්දු 11කින් ලකුණු 50ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක් ද ක්‍රීඩා කළේ ය.
151* : ඉන්දීය ඉනිමේ පළමු පන්දුවාර 10 අවසන් වෙද්දී Vaibhav Sooryavanshi නොදැවී ලකුණු 151ක් රැස් කරගෙන සිටි අතර එය එක් ක්‍රීඩකයෙක් පිරිමි List A තරගවල දී පළමු පන්දුවාර 10 තුළ ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාව වේ.
ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වය දකුණු ඕස්ට්‍රේලියාවේ Jake Fraser-McGurk සතු වුණා. ඔහු 2023 වසරේ Adelaide හි දී ටස්මේනියාවට එරෙහි ව ලකුණු 122ක් ලබා ගනිමින් එහි මුල් පුටුවේ රැඳී සිටියේ ය.
28x6s : මෙම ඉනිමේ දී Vaibhav Sooryavanshi එල්ල කරන ලද හයේ පහර සංඛ්‍යාව List A පිටියේ ඉනිමක දී වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට ද පත් කළේ ය.
එහි ඊට පෙර වාර්තාව සතු වූයේ Western Australia කණ්ඩායම නියෝජනය කළ D’Arcy Short 2018 වසරේ දී JLT එක්දින කුසලාන තරගාවලියේ දී Queensland කණ්ඩායමට එරෙහි ව එල්ල කළ හයේ පහර 23යි.
අවුරුදු 15 දින 242 : List A තරග පිටියේ ද්විත්වය ශතකයක් ලබා ගත් ළාබාලතම ක්‍රීඩකයා බවට පත් වූයේ ද Vaibhav Sooryavanshi.
ඊට පෙර මෙම වාර්තාව සතු වූයේ වයස අවුරුදු 17කුත් දින 243ක දී අයර්ලන්තයට එරෙහි ව නොදැවී ලකුණු 232ක් ලබා ගත් නවසීලන්තයේ Amelia Kerr. ඇය 2018 වසරේ පැවැති එම තරගයේ දී පන්දු 145ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 31ක් සමඟින් ලකුණු 232ක් ලබා ගන්නවා.
200 : List A පිටියේ ලොව ද්විත්ව ශතකයක් වාර්තා කළ ළාබාල ම ක්‍රීඩයා බවට පත් වූයේ ද Vaibhav Sooryavanshi.
ඊට පෙර මෙම ස්ථානයේ රැඳී සිටියේ Mumbai කණ්ඩායම නියෝජනය කරමින් වයස අවුරුදු 17කුත් දින 292ක දී Jharkhand කණ්ඩායමට එරෙහි ව 2019 වසරේ ලකුණු 203ක් ලබා ගත් Yashasvi Jaiswal.
196 : Vaibhav Sooryavanshi මෙම ඉනිමේ දී හයේ පහර සහ හතරේ පහර මඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව List A පිටියේ එවන් දක්ෂතා අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාවයි.
මෙහි පළමු ස්ථානයේ රැඳී තිබෙන්නේ Western Australia කණ්ඩායම නියෝජනය කළ D’Arcy Short 2018 වසරේ දී JLT එක්දින කුසලාන තරගාවලියේ දී Queensland කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 198යි.
384.90 : Vaibhav Sooryavanshi නිමා කළ එම ඉනිමේ දී පවත්වාගෙන ගිය ප්‍රහාරාත්මක වේගය List A ක්‍රිකට් ඉතිහාසයේ ශතකයක් ඇතුලත් වූ ඉනිමක වාර්තා වූ ඉහළ ම ප්‍රහාරාත්මක වේගයයි.
ඊට පෙර මෙම වාර්තාව සතු කර ගෙන සිටියේ දකුණු අප්‍රිකාවේ AB de Villiers විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව 2015 වසරේ දී පන්දු 44ක දී ලකුණු 149ක් ලබා ගනිමින් පවත්වාගෙන ගිය 338.63ක වේගයයි.
183/2 : ඉන්දීය A කණ්ඩායම පළමු පන්දුවාර 10 අවසානයේ දී ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව එක්දින තරග ඉතිහාසයේ පළමු පන්දුවාර 10 තුළ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවයි.
ඊට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ 2023 වසරේ දකුණු ඕස්ට්‍රේලියා කණ්ඩායම ටස්මේනියාවට එරෙහි ව කිසිවෙක් නොදැවී ලබා සිටි ලකුණු 160යි.
17.72 : නිමා වූ මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 14.2ක දී කඩුලු 3ක් දැවී ලකුණු 254ක් ලබා ගනිමින් එහි පවත්වාගෙන ලකුණු ලබා ගැනීමේ වේගය List A පිටියේ ලකුණු 250කට වැඩියෙන් ලබා ගත් අවස්ථාවල ඉහළ ම දත්තයයි.
ඊට පෙර එය හිමි ව තිබුණේ 2014 වසරේ දී නවසිලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ලබා සිටි 13.47ක වේගයයි.
254/3 : එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව ඉන්දිය A කණ්ඩායම විසින් රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව List A ඉතිහාසයේ ද්විත්ව ශතකයක් ඇතුලත් වූ කණ්ඩායමක් ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාවන් අතර පෙරමුණ ගත් තරගය ද වේ.
මීට පෙර මෙම වාර්තාවේ හිමිකරුවන් වූයේ 2023 ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්තානයට එරෙහි ව Glenn Maxwell විසින් නොදැවී ලබා ගත් ද්විත්වය ශතකය ද සමඟින් ඕස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී ලකුණු 293යි.
මේ සියලු වාර්තාවන් සමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කළ ඉන්දීය A ක්‍රීඩකයෝ ACC Rising Stars තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ද සමත් වූ හ.
ඒ අනුව ඔවුන් හෙට (26) Doha හී Science and Technology විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 1 වැනි අවසන් පූර්ව තරගයට සහභාගී වීමට නියමිත අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ ශ්‍රී ලංකා A කණ්ඩායමයි.
ACC Rising Stars ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















