චමීර ලෝක කුසලානයෙන් ඉවතට!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

3741

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන 2022 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින දක්ෂ වේගපන්දු යවන්නෙක් වන දුෂ්මන්ත චමීර තරගාවලියෙන් ඉවත් කරන්නට තීරණය කර තිබෙනවා.

ඒ ඔහුගේ පාදයේ ආබාධය (Calf Injury) නිසාවෙනුයි. ඉකුත් දා ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව අභිෂේක ලැබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ද චමීරට සහභාගී වීමට නොහැකි වුනේ මෙම ආබාධය නිසාවෙනුයි.

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුව ලෝක කුසලානය සඳහා සූදානම් කෙරුණු නමුත් ලෝක කුසලානයේ දී මේ වන තෙක් පැවති පළමු තරග ද්විත්වයේ දී ඔහු සුපුරුදු දක්ෂතා අතරට පැමිණ සිටිනු දක්නට ලැබුණේ නැහැ.

ඒ අනුව, ලෝක කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සංචිතයෙන් මේ වන විට ඉවත් කෙරුණු දෙවැනි ක්‍රීඩකයා වන්නේ චමීරයි. ඔහුට පෙර, වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක, කලව අශ්‍රිතව (Quadricep) ආබාධයක් නිසාවෙන්, තරගාවලියෙන් ඉවත් කරනු ලැබුවා.

ප්‍රමෝද් මදුශාක් සහ දනුෂ්ක ගුණතිලක ද මස්පිඬු ආබාධවලට (Hamstring niggles) ගොදුරු වී ඇති බව වාර්තා වන, නමුත් ඔවුන්ගේ ආබාධවල බරපතළකම පිළිබඳව තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තහවුරු කර නැහැ.

ඔවුන් දෙදෙනාටම තරගාවලිය අහිමි වී යෑමට විශාල සම්භාවිතාවක් තිබෙන අතර කෙසේ නමුත් ඔවුන් දෙදෙනාටම එළඹෙන බ්‍රහස්පතින්දා (හෙට) පැවැත්වීමට නියමිත, තීරණාත්මක තරගයක් වන, නෙදර්ලන්තය සමඟ තරගය මග හැරී යනු ඇත.

කසුන් රාජිත චමීර වෙනුවට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත නමුත් මෙම ආදේශ කිරීම සඳහා ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි විය යුතුයි.

රාජිත සමඟින් අසිත ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම සමඟ එකතු වනු ඇත්තේ යම්හෙයකින් මදුශාන් තරගාවලියෙන් ඉවත් කළහොත් ඔහු වෙනුවට ආදේශ කිරීමේ අමුණෙනි.

ගුණතිලක ද යම්හෙයකින් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වුවහොත් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් සිටින අශේන් බණ්ඩාර ඔහු වෙනුවට කණ්ඩායම සමඟින් එකතු වනු ඇත

කෙසේ නමුත් මෙම අතිරේක ක්‍රීඩකයින් කිසිවෙකු මෑත කාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් ලබා නොමැති ක්‍රීඩකයින් වන අතර රාජිත අවසන් වරට එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කළේ පසුගිය ජූලි මාසයේ දීයි. ප්‍රනාන්දු පසුගිය පෙබරවාරි මාසයේ දී සහ කුමාර අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ පසුගිය මාර්තු මාසයේ දීයි.

ලෝක කුසලානයේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<