101 වැනි කඳුරට නිල් මහා සටනේ වීරයා හසිත බෝයගොඩ

461

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 101 වන වරට පැවති නිල් මහා සටන මහා ක්‍රිකට් තරගය පළමු ඉනිමේ ජයක් සමඟින් ජය-පරාජයෙන් තොරව අවසන් කරගන්නට ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම සමත් වීමත් සමඟ තවත් වසරක කාලයක් සඳහා ජෝන් හලංගොඩ අනුස්මරණ කුසලානය ඔවුන් සතුව තබා ගන්නට ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

තරගයේ දෙවන හා අවසන් දිනය වූ ඊයේ (17) දිනයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඊයේ දිනය තුළ පන්දුවාර 35ක් පමණක් ක්‍රීඩා කෙරුණු අතර ඒ අනුව ජය-පරාජයෙන් තොරව අවසන් විය.

බෝයගොඩගේ මංගල අර්ධ ශතකය සමඟින් ත්‍රිත්වයින් ප්‍රථම ඉනිම ජය ගනී

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වෙන 101 වැනි කඳුරට නිල් මහා සටන මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ…

දෙවන දිනය සඳහා තරගය ආරම්භ කරන විට ත්‍රිත්ව විද්‍යාලයීය ලකුණු පුවරුව ලකුණු 150ට කඩුලු 5ක් ලෙස දැක්වුණු අතර ඒ වන විට ඔවුන් අන්තෝනි පළමු ඉනිමට වඩා ලකුණු 35ක් ඉදිරියෙන් පසුවිය.

කෙසේ නමුත් එහි දී ඉක්මනින් ලකුණු රැස්කර ගැනීමට යාමේදී දිනය ආරම්භ කළ පිතිකරු යුගළය වූ ට්‍රෙවෝන් වීරසූරිය සහ අශාන් ලොකුකැටිය පිළිවෙලින් ලකුණු 18කට සහ 35කට දුවද්දී දැවී ගියහ. අනතුරුව තිසරු දිල්ශාන් විසින් වේගවත් ලකුණු 19ක් රැස්කර ගන්නට සමත් වූ අතර ඔහුව කඩුල්ල මුවාකිරීමේ වරදට හසු කර ගනිමින් ඔහුව නැවතත් ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට නිම්නක ජයතිලක සමත් විය. ත්‍රිත්ව විද්‍යාලයීය පසුපෙළ පිතිකරුවන්ව ඉක්මනින් දවා ගන්නට අන්තෝනි පන්දු යවන්නන් සමත් වූ අතර ඒ අනුව ලකුණු 196කට ඔවුන්ගේ ඉනිම අවසන් වූයේ අන්තෝනි පළමු ඉනිමට වඩා ඔවුන් ලකුණු 81ක් ඉදිරියෙන් පසුවෙමිනි.

අනතුරුව දෙවන ඉනිම ආරම්භ කරනු ලැබූ අන්තෝනි පිතිකරුවන් එහි දී පළමු ඉනිමට වඩා හොඳ ආරම්භයක් ලබා ගන්නට සමත් විය. රුවින් පීරිස් විසින් සුනේර ජයසිංහගේ කඩුල්ල ඉක්මනින් දවා ගන්නට සමත් වුවත්, ඉන් අනතුරුව පිටියේ එක්වූ මොහොමඩ් අබ්සාර් සහ ඩියෝන් ස්ටවුටර් ආරක්‍ෂාකාරීව පන්දුවට පහර දුන් අතර දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කරන තෙක් ප්‍රවතිවාදීන් හට කඩුල්ලක් දවා ගන්නට අවස්ථාවක් නොදෙන්නට ඔවුන් වගබලා ගත්තේය.

කෙසේ නමුත් ඉන් අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙවන සැසිය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර ඒ අනුව නැවතත් තරගය ආරම්භ කෙරුණේ තේ විරාමයෙන් ද අනතුරුව ය. එහි දී ද පන්දුවාර 5ක් ගතවන විට නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට සාන්ත අන්තෝනි ලකුණු පුවරුව ලකුණු 62කට කඩුලු 2ක් ලෙස දැක්වුණි. කෙසේ නමුත් දිගින් දිගටම වර්ෂාව ඇදහැලෙන්නට වූ බැවින් තරගය නවතා දමන්නට විනිසුරුවන් තීරණය කළේය.

ටී. බී. තෙන්නකෝන් කුසලානය මෙවරත් ලේක්වීව් කන්දට

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 112 වැනි වරටත් පැවැත්වූ සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර පළමු ඉනිමේ ජය…

ඒ අනුව තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වුවත් ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම තරගයේ පළමු අර්ධය ජයග්‍රහණය කරන්නට සමත් වූ හෙයින් මෙවරත් ජෝන් හලංගොඩ අනුස්මරණ අභියෝගතා ශූරතාවය ආරක්ෂා කරගන්නට ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

සම්මාන

  • හොඳම පන්දු රකින්නා – ජනිඳු හිම්සර (SACK)
  • හොඳම පන්දු යවන්නා – තිසරු දිල්ෂාන් (TCK)        
  • හොඳම පිතිකරුවා – හසිත බෝයගොඩ (TCK)        
  • තරගයේ වීරයා – හසිත බෝයගොඩ (TCK)        

තරග සාරාංශය

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු ඉනිම) – 115 (37.2): නවෝද්‍ය විජයකුමාර 32, මොහොමඩ් අබ්සාර් 29, තිසරු දිල්ෂාන් 4/30, රුවින් පීරිස් 3/31

ත්‍රිත්ව විද්‍යාලය (පළමු ඉනිම) – 196 (53.3): හසිත බෝයගොඩ 72, ජෙෆ් වීරසිංහ 37, අශාන් ලොකුකැටිය 35, නිම්නක ජයතිලක 4/53, නවෝද්‍ය විජයකුමාර 2/35

සාන්ත අන්තෝනි විද්‍යාලය (දෙවන ඉනිම) – 62/2 (20): ඩියෝන් ස්ටවුටර් 27*, මොහොමඩ් අබ්සාර් 22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<