කොළඹ තුරඟ තරග පිටියේදී පැවති ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලීය කණ්ඩායම දඬුවම් පහර 5-4ක් ලෙසින් පරාජය කළ හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය, තවදුරටත් ජනාධිපති කුසලානයේ අයිතිය තමා යටතේම තබා ගන්නට සමත් විය. සම්පූර්ණ තරග කාලය අවසානයේදී කිසිදු ගෝලයක් වාර්තා නොවූ අතර තරගයේ තීරණය ලබා දුන්නේ දඬුවම් පහර මඟිනි.

ජනාධිපති කුසලාන පාපන්දු – අවසන් තරගයට පෙර දැක්මක්

2017 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන 22 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි…

තරගයේ ආරම්භයේ සිටම ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් හමුවේ ජවය ලද හමීඩ් අල් හුසෙයිනි ක්‍රීඩකයන් තරගයේ වැඩි බරක් තමා සතු කරගත්තේය. නමුත් මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයන්ද තම පසුපෙළ ආරක්ෂණ පද්ධතිය සවිමත් කරගනිමින් තරගයට එක්විය. මොහොමඩ් රිශාන්, අල් හුසෙයිනි විදුහල වෙනුවෙන් පන්දුව ලද සෑම විටකම තර්ජනාත්මකව ඉදිරියට පැමිණියේය. පළමු අර්ධය අවසන් වන විටත් ගෝල ලබා ගන්නට දෙපිලම අසමත් වූයේ දෙපිලම සවිමත් ආරක්ෂක පෙළකින් සමන්විත වූ බැවිනි.

පළමු අර්ධය – හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය 0-0 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

ගෝල රහිත ප්‍රථම අර්ධයකින් අනතුරුව කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීමේ අදිටනින් දෙවන වටයට පිවිස ඇති බවක් දිස්විය. කෙසේ නමුත් වඩාත් වැඩි අවස්ථාවන් හිමිවූයේ හමීඩ් අල් හුසෙයිනි විදුහලට වුවත් ඒ සෑම අවස්ථාවකදීම මාරිස් ස්ටෙල්ලා ආරක්ෂකයින් සාර්ථක විය.

මොහොමඩ් රිශාන්, සුපුරුදු පරිදිම තම තර්ජනාත්මක ක්‍රීඩා ශෛලිය අනුගමනය කළ අතර මාරිස් ස්ටෙල්ලා ආරක්ෂකයින්ට අභියෝගයක් වූයේ ඔහුය. තරගයේ අවසන් මිනිත්තු කිහිපය වඩාත් උද්වේගකර වූයේ දෙපිලම කෙසේ හෝ ගෝල ලබා ගැනීමේ අරමුණින් ප්‍රතිවාදී ගෝල වෙත දිගු ප්‍රහාර දියත් කළ බැවිනි. අවසානයේදී දෙපිලම සාර්ථක වූයේ නැත. දඬුවම් පහර වෙත තරගය ඇදුණේ ඉන් අනතුරුවයි.

සම්පූර්ණ කාලය – හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය 0-0 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ එස්. ප්‍රවීත් එල්ල කළ අසාර්ථක දඬුවම් පහරක් සමඟින් දඬුවම් පහර වටය ඇරඹිණි. ඉන් ලැබුණු වාසියත් සමඟින් අල් හුසෙයිනි ක්‍රීඩකයන් තම ප්‍රහාරයන් දියත් කළ අතර දෙපිලම මීළඟ දඬුවම් පහර 8 සාර්ථක කරගත්තේය.

4-4ක් වශයෙන් ගෝල තත්වය සමව තිබියදී දඬුවම් පහර අවස්ථාව ලද හමීඩ් අල් හුසෙයිනි නායක මොහොමඩ් අමාන්, මාරිස් ස්ටෙල්ලා ගෝල රකින්නා වූ වී. ප්‍රනාන්දුපුල්ලේ ඉදිරියේ අසාර්ථක උත්සාහයක් ගැනීමත් සමඟ මාරිස් ස්ටෙල්ලාවන්ට හොඳ අවස්ථාවක් නිර්මාණය විය.

නමුත් එය වළකාගත් මාරිස් ස්ටෙල්ලාවේ ෂේන් දාබරේ, මීළඟ දඬුවම් පහර ගෝලයට ඉහළින් පා කර හැරි අතර අෆ්සාල් අහමඩ්, මීළඟ දඬුවම් පහර සාර්ථක කරගනිමින් අල් හුසෙයිනි විද්‍යාලයේ ජය තහවුරු කළේය.

දඬුවම් පහර වටය – හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය 5-4 මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් රිශාන් (හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය)

තරගයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වූ හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලයේ පුහුණුකරු මොහොමඩ් ඉම්රාන් මෙසේ පැවසුවේය.

“තරග කාලයේදීම අපට ජයගන්නට අවශ්‍ය වුණත් මාරිස් ස්ටෙල්ලා ආරක්ෂක පෙළ ශක්තිමත් වුණා. මගේ කණ්ඩායමට මම ආක්‍රමණකාරී වෙන්නට කිව්වත් පිටිය මැදදී ඔවුන් ටිකක් ආරක්ෂණය ගැන කලබල වුණා. ඒක මට තේරුම්ගන්න පුළුවන්. තරගයේ ජයග්‍රහණය ගැන හොඳ විශ්වාසයක් මට තිබුණා. ඉතින් ඒක තරග කාලෙදි වුණත්, දඬුවම් පහරවලින් වුණත් මගේ කණ්ඩායම වෙනුවෙන් මා සතුටු වෙනවා.”

තරගවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූ අතර සියළු ත්‍යාගයන් ලබා ගත්තේ හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලීය ක්‍රීඩකයන් වීමද විශේෂත්වයකි.

  • අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – මොහොමඩ් රිශාන් (හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – මොහොමඩ් සාජිඩ් (හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය)
  • තරඟාවලියේ වැඩිම ගෝල ලාභියා – එම්.ප්‍රනාන්දු (මාරිස්ටෙලා විද්‍යාලය)
  • දක්ෂතම ගෝල රකින්නා – මහේන්ද්‍රන් දිනේෂ් (හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය)

තෙවන ස්ථානය සඳහා පැවති තරගය 

කඳාන ද මැසනඩ් විද්‍යාලයට එරෙහිව පුත්තලම සහීරා විද්‍යාලය

කොළඹ තුරඟ තරග පිටියේදීම ජනාධිපති කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා වන තරගයත් පැවැත්වුණු අතර එහිදී පුත්තලම සහීරා විද්‍යාලයට යන එන මං අහිමි කරමින් ගෝල 6-2ක් ලෙස ජයග්‍රහණය වාර්තා කලේ කඳාන ද මැසනඩ් විද්‍යාලය විසිනුයි.

ගෝල 2-1ක් ලෙස අවසන් පූර්ව තරගයේදී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හමුවේ පරාජය වීමට මැසනඩ් විද්‍යාලයට සිදුවූ අතර සහීරා විද්‍යාලය ගෝල 6-0ක් වශයෙන් හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලය හමුවේ පරාජය වී තෙවන ස්ථානය සඳහා වන තරගයට පිවිසියේය.

එම්. ජහීර්, තෙවන මිනිත්තුවේදීම සහීරා විද්‍යාලය ඉදිරියෙන් තැබූ අතර තරගයේ 12 වන මිනිත්තුවේදී පරතරය දෙගුණ කරන්නටද ඔහු සමත් විය.

නමුත් එහි සිට තරගයේ ආධිපත්‍ය සියතට ගත් මැසනඩ් විද්‍යාලීය ක්‍රීඩකයන් වෙනුවෙන් නායක රංජු සිල්වා ගෝලයක් වාර්තා කළ අතර ප්‍රථම අර්ධය නිමාවූයේ සහීරාවන් ඉදිරියෙන් තබමිනි.

පළමු අර්ධය – කඳාන ද මැසනඩ් විද්‍යාලය 1-2 පුත්තලම සහීරා විද්‍යාලය

දෙවන අර්ධයේ 55, 59 සහ 71 වන මිනිත්තුවලදී ගෝල වාර්තා කරමින් පෙරමුණ ගන්නට කඳාන මැසනඩ් විද්‍යාලය සමත් විය. අවසන් පූර්ව තරගයේදී ලද අමිහිරි අත්දැකීමම නැවතත් සහීරා විද්‍යාලයට ලංවූයේ එසේයි.

රංජු සිල්වා, මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් වෙහෙසකින් තොරව ක්‍රීඩා කරනු දැකිය හැකිවිය.

සම්පූර්ණ කාලය – කඳාන ද මැසනඩ් විද්‍යාලය 6-2 පුත්තලම සහීරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – රන්ජු සිල්වා (කඳාන ද මැසනඩ් විද්‍යාලය)

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්.

  • මැසනඩ් විද්‍යාලය – රංජු සිල්වා 15′ & 37′ , ඒ. දේශාන් 25′, ඩීන් ජයා 55′ & 59′, ප්‍රමුදිත ගුණසේකර 71′.
  • සහීරා විද්‍යාලය – එම්.ජහීර් 3′, 12′.

  තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට