ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ 2 වැනි තරගයත් ජය ගනී

ACC Rising Stars Asia Cup 2026

1

කටාර් හි දී පැවැත්වෙන ACC Rising Stars ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තමන් මුහුණ දුන් 2 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට අද (21) සමත් වුණා. ඔවුන් පරාජය කරන්නේ හොංකොං කණ්ඩායමයි.  

Doha හී Science and Technology විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 284ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි හොංකොං කණ්ඩායමට ලබා ගැනීමට හැකිවෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 260ක් පමණයි.  

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගය හා එක් වූ ලහිරු සමරකෝන්, ශාරුජන් ශන්මුගනාදන් සහ ගරුක සංකේත් වෙනුවට මෙම තරගයේ දී විජයකාන්ත් වියස්කාන්ත්, දුවිඳු රණතුංග සහ දුලාජ් සමුදිත එක් කරගෙන තිබුණා.  

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම 

පවන් රත්නායක (නායක), ලසිත් කෲස්පුල්ලේ, සිනෙත් ජයවර්ධන, නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, ජනිත් ලියනගේ, වනුජ සහන්, චාමික හීනටිගල, විජයකාන්ත් වියස්කාන්ත්, දුවිඳු රණතුංග සහ දුලාජ් සමුදිත. 

 

හොංකොං A ක්‍රිකට් කණ්ඩායම 

Yasim Murtaza (නායක), Zeeshan Ali (කඩුලු රකින්නා), Anshy Rath, Babar Hayat, Shahid Wasif, Reyansh Sharma, Abdul Samad, Aizaz Khan, Ehsan Khan, Ayush Shukla සහ Mohammad Ghazanfar. 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 18 දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119කදී ලකුණු 104ක සබඳතාවක් ගොඩ නැගීමට ලසිත් කෲස්පුල්ලේ සහ නිශාන් මදුශ්ක සමත් වෙනවා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ලසිත් කෲස්පුල්ලේ ගේ දැවී යෑමත් සමඟයි. ඒ වෙද්දී ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟි ලකුණු 75ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා ද වූවා.  

ඉන් අනතුරුව කඩුල්ලට නිශාන් මදුශ්ක හා එක් වෙන්නේ නායක පවන් රත්නායක. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිම ඉහළින් තැබීමට දායක වෙන්නේ පන්දු 51කදී ලකුණු 43ක් එක් කරමින්. 3 වැනි කඩුල්ලට එක් වූ එම සබඳතාව බිඳ වැටෙන්නේ නිශාන් මදුශ්කගේ දැවී යෑමත් සමඟයි. ඔහු දැවී යද්දී පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා. 

පවන් රත්නායක ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 50කදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා. ඔහු දැවී යද්දී එම කඩුල්ල වෙනුවෙන් නිපුන් ධනංජය හා එක් ව පන්දු 41කදී ලකුණු 40ක සබඳතාවක් එක් කර තිබුණා. 

නිපුන් ධනංජය ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 31කදී ලකුණු 27ක් ලබා සිටියා. මැද පෙළින් පිටියට පිවිසි ජනිත් ලියනගේ ඉනිමේ 7 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Aizaz Khan ලකුණු 61කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Ehsan Khan කඩුලු 2ක් ද, Mohammad Ghazanfar, Yasim Murtaza සහ Ayush Shukla කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හොංකොං ඉනිමේ 2 වැනි කඩුල්ලේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැවැන්ත ප්‍රහාරයකට ලක් කිරීමට Anshy Rath සහ Babar Hayat සමත් වුණා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 200ක දී ලකුණු 170ක සබඳතාවක් එක් කරනවා.  

එහි දී Babar Hayat පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 86ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු යැවුණ 6 වැනි පන්දුවේ දී Anshy Rath ද ඉනිම හැර යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 75ක් ලබා සිටියා.  

ඔවුන්ට අමතර ව Aizaz Khan පන්දු 27කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද සහ Abdul Samad පන්දු 24කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණ්ු 21ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දුලාජ් සමුදිත ලකුණු 33කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විජයකාන්ත වියස්කාන්ත් සහ වනුජ සහන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 284 (50.0) ලසිත් කෲස්පුල්ලේ 75, නිශාන් මදුශ්ක 64, පවන් රත්නායක 51, නිපුන් ධනංජය 27, ජනිත් ලියනගේ 52, Ehsan Khan 2/41, Aizaz Khan 3/61
  • හොංකොං ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 260 (50.0) Anshy Rath 75, Babar Hayat 86,  Abdul Samad 21, Aizaz Khan 29, දුලාජ් සමුදිත 3/33, වනුජ සහන් 2/44, විජයකාන්ත් වියස්කාන්ත් 2/43

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 24ක ජයක්.   

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මී ළඟ තරගය බංග්ලාදේශ A කණ්ඩායම සමඟින් මේ මස West End Park  ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ACC Rising Stars ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<