Sehwag සිය උදාර බව ලොවට ම පෙන්වයි!

5053

ලොවම කම්පා කරවමින් පසුගිය සිකුරාදා (2) ඉන්දියාවේ Odisha හිදි සිදු වූ දුම්රිය අනතුරින් අවතැන් වූ දරුවන්ට පිහිට වීමට හිටපු  ඉන්දීය සුපිරි පිතිකරු Virender Sehwag ඉදිරිපත් වී තිබෙනවා.

ඉන්දියාවේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සැලකෙන මෙම අනතුරෙන් ජීවිත 275ක් අහිමි වී ඇති අතර, 1175 දෙනෙකු තුවාල ලබා ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

මෙම අනතුර නිසා සමස්ත ලෝකය ම කම්පාවට පත් වෙමින් සිටින මොහොතක හිටපු ඉන්දීය පිතිකරු Virender Sehwag විසින් අනතුරින් ජීවිත අහිමි වූ අයගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට සහය ලබා දීමට ඉදිරිපත් වී තිබෙනවා.

“මෙම සිදුවීම අප තවත් බොහෝ කාලයකට බිය ගන්වාවි. මේ ශෝකජනක පැයේ දී මට කළ හැකි අවමය තමයි මේ අනතුරින් ජීවිත අහිමි වූ අයගේ දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම. මම එවැනි දරුවන් වෙනුවෙන් Sehwag ජාත්‍යන්තර පාසලේ නොමිලේ අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා.”

Shewag විසින් Twitter හරහා මෙම ප්‍රකාශය සිදු කළ මොහොතේ පටන් ඔහුගේ ක්‍රියාව අගය කරමින් බොහෝ දෙනෙකුගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ද ලැබෙමින් පවතිනවා.

“මෙය ත්‍යාගශීලීත්වයේ සහ මනුෂ්‍යත්වයේ ඇදහිය නොහැකි අවස්ථාවක්. මේ ශෝකජනක අවස්ථාවේ මුළු මහත් දේශය ම එකට එක් වී උදව් අවශ්‍ය අයට පිහිට වීමට ඉදිරිපත් වෙනවා දැකීමත් සතුටක්.”

එමෙන්ම එම Twitter සටහනෙන් පසු තවත් සටහනක් තැබූ Shewag විසින් මේ අනතුරින් ආපදාවට පත්වූවන්ට සහය වූ පිරිස ද ඇගයීමට ලක් කර තිබුණා.

“ගලවා ගැනීමේ මෙහෙයුම් වල ඉදිරියෙන් ම සිටි සියලු ම නිර්භීත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටත්, ස්වේච්ඡාවෙන් ම රුධිරය පරිත්‍යාග කළ අයට සහ වෛද්‍ය කණ්ඩායම් වලටත් මගේ ආචාරය.

අපි හැමෝම මෙහි දී එකට ඉමු!”

මේ අතර දුම්රිය සංඥා වල සිදු වූ යම් දෝෂයක් මෙම අනතුරට හේතුව බවයි මේ වන විට දැන ගැනීමට ලැබී ඇත්තේ. කෙසේ වෙතත් මෙවැනි අනපේක්ෂිත තත්ව යටතේ සිය උදාර ගතිගුණ පෙන්වන Virender Shewag වැනි පුද්ගල චරිත වෙනුවෙන් විශේෂ අගය කිරීමක් ලැබිය යුතුමයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<