Warner ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමේ සූදානමක!

248

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකු ලෙස හඳුන්වා දිය හැකි David Warner ලබන වසරේ ජනවාරි මාසයේ දී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට බලාපොරොත්තු වන බව හෙළිදරව් කර තිබෙනවා.

2024 වසරේ පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර ඕස්ට්‍රේලියාවේ Sydney ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගයෙන් පසුව තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට බලාපොරොත්තු වන බවයි David Warner විසින් සඳහන් කරන්නේ. එමෙන්ම සිය ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයේ නිමාව 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සමඟින් සනිටුහන් වනු ඇති බවත් Warner විසින් සඳහන් කරනවා.

“මම නිතරම කිව්වා 2024 ලෝක කුසලානය මගේ අවසන් තරගාවලිය වේවි කියලා. මට මෙහි (එංගලන්තයේ) ලකුණු රැස් කළ හැකි වුනොත් මට මෙතැනින් ඉදිරියට ගිහින් පාකිස්තාන තරගාවලිය ක්‍රීඩා කරන්න පුළුවන්. එතැනින් මම අනිවාර්යයෙන් ම නතර වෙනවා.”

මේ වන විට Warner ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එංගලන්තයේ රැඳී සිටින අතර ඔවුන් මෙම මස 7 වැනිදා ඉන්දියාව සමඟ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි.

එමෙන්ම ඉන්පසුව ඔවුන් එංගලන්තය සමඟ අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කිරීමට නියමිතයි. එම තරගවල දී පිත්තෙන් දස්කම් පෙන්වමින් ඔහුට ඉතිරිව ඇති සීමිත කාලයේ ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ තවදුරටත් රැඳී සිටීම Warnerගේ බලාපොරොත්තුව වී තිබෙනවා. නමුත් ගෙවුණු වසර කිහිපය ම Warnerට එතරම් ම සුබදායී වුනේ නැහැ.

ඔහු පසුගිය වසරේ දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කළ තම 100 වැනි ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් ලබා ගැනීමට සමත් වූ නමුත්, අවසන් ටෙස්ට් ඉනිම් 24 තුළ ඔහුගේ පිතිකරණ සාමාන්‍ය අගය දැක්වෙන්නේ 26ක් වැනි දුර්වල අගයකයි. මෙවැනි වාතාවරණයක් තුළ Warner හට නොකඩවා කණ්ඩායමේ රැඳී සිටීමට අවස්ථාව හිමි වීම ඉදිරියෙන් ඉතිරි වී ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණයි.

“මම හැම තරගයක් ම ක්‍රීඩා කරන්නේ මගේ අවසන් තරගය ලෙසයි. ඒ තමයි මම ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය.”

තමන්ගේ උපරිමයෙන් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ කොටසක් ව හිඳීම සිය බලාපොරොත්තුව බවයි Warner විසින් සඳහන් කරන්නේ.

එමෙන්ම ඔහුගේ මෙම තීරණය අනුව එංගලන්තයේ දී ඔහු ක්‍රීඩා කිරීමට නියමිත ඉදිරි තරග කිහිපය ඔහු සිය රටින් බැහැරව ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරග කිහිපය වනු ඇති.

“මට 2024 ලෝක කුසලානය ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඒක මගේ හිතේ තියෙන දෙයක්. ඊට පෙර අපට ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරන්න තියෙනවා. මම හිතන්නේ ඒක පෙබරවාරි වලින් නවතීවී. මට ඊට පසුව IPL තියෙනවා. ඒ වගේම තවත් ලීග් තරගාවලිත් තියෙනවා.”

ලබන වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් පසු ලීග් තරග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් සිය රිද්මය පවත්වා ගැනීම සිය අරමුණ බවයි Warner විසින් පවසා සිටින්නේ.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<