ශ්‍රී ලංකාවේ යෝජනාව පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි!

Asia Cup 2023

20924
Asia Cup 2023

මෙම වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකාව විසින් සිදු කර තිබූ යෝජනාව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් (PCB) ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට එරෙහිව ඉන්දියාවෙන් ගැටලු මතු වීමත් සමඟ පාකිස්තානය විසින් එයට පිළිතුරක් ලෙස තරගාවලිය පැවැත්වීම සඳහා නව දෙමුහුන් ආකෘතියක් යෝජනා කළා.

නමුත් පාකිස්තානය විසින් ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වනවා වෙනුවට සමස්ත ආසියානු කුසලානයම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිදු කළ යෝජනාව නිසා ශ්‍රී ලංකාව කෙරෙහි පාකිස්තානය අසතුටට පත් වී ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

“දෙරටේ පාලක මණ්ඩල අතර සම්බන්ධය දුර්වල වී ඇති බවට උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව විසින් ලබන මාසයේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට පාකිස්තානයට කළ යෝජනාව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කිරීම සඳහන් කරන්න පුළුවන්.”

දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල අතර සබඳතාවේ යම් දෙදරීමක් ඇති වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නියෝජිතයෙකු විසින් එසේ හෙළි කර තිබෙනවා.

පාකිස්තානය විසින් ලබන ජූලි මාසයේ මීළඟ ICC ටෙස්ට් ලෝක ශූරතාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම කාලය තුළ දී ම පාකිස්තාන කණ්ඩායම සමඟ තවත් එක්දින තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබුණා.

“එය ලබන සැප්තැම්බරයේ දී ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඔවුන් සිදු කළ යෝජනාවට සිය අසතුට පළ කිරීමට PCBය විසින් දැක්වූ ඉඟියක්. ඒක පාකිස්තානයට ආසියානු කුසලානය සිය රටේ පැවැත්වීමට තිබුණු අවස්ථාව.”

ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයෙන් ඉල්ලූ එක්දින ක්‍රිකට් තරගාවලියේ යෝජනාවට PCBය විසින් එකඟ නොවීමට හේතුව ඔවුන්ගේ නියෝජිතයා විසින් පැහැදිලි කළේ ඒ ආකාරයෙනුයි.

එමෙන්ම PCB සභාපති Najam Sethi විසින් මීට පෙර බලාපොරොත්තු වී ඇත්තේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවල් තුන ම සිය දෙමුහුන් යෝජනාව වෙනුවෙන් සහය පළ කරමින් ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්විය යුතු බව ඉන්දියාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරනු ඇති බවයි.

නමුත් ඔහුගේ බලාපොරොත්තු ඉටු නොවීම ඔහුව කලකිරීමට පත් කර ඇති බවයි එම නියෝජිතයා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පවතින තත්වය අනුව පාකිස්තානය විසින් එළඹෙන ආසියානු කුසලානය සහ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය පිළිබඳ දැඩි තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි එම නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

ආසියානු කුසලානය පිළිබඳ අර්බුදයේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<