සාරංගි රන් දිනයි!

279

ස්විස්ටර්ලන්තයේ ජිනිවා හිදී පැවැත්වුණු ATLETICAGENEVE – EAP ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගන්නට ශ්‍රී ලංකා සුපිරි දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වා සමත් වුනා.

තරගාවලියේ ඇය දැක්වූ හොඳම දක්ෂතාවය දක්වමින් සිය අවසන් උත්සාහයේ දී මීටර් 6.33 (+2.4m/s) දුරක් වාර්තා කරන්නට ඇය සමත් වුනා. කෙසේ වෙතත් ඇයගේ හොඳම නීත්‍යානුකූල පිම්ම ලෙස දැක්වුණේ මීටර් 6.29ක දුරක්.

ලෝක මලල ක්‍රීඩා සංගමයේ මහද්වීපික තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ දුර පැනීමේ ඉසව්වට ද තියුණු තරගයක් පැවැත්වුණා. චිලි හි Munoz Rocia ඉසව්වේ හතර වැනි වටය වන තෙක් ඉදිරියෙන් සිටි අතර ඇයගේ හොඳම දක්ෂතාවය ලෙස වාර්තා වුනේ මීටර් 6.28ක දුරක්.

මෙම තරගාවලිය C කාණ්ඩයේ තරගාවලියක් වන අතර සාරංගි මෙම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත් නිසා ඇයට ප්‍රසාද ලකුණු 60ක් හිමි වීමට නියමිතයි. එමෙන්ම ඇයගේ හොඳම පිම්මට දක්ෂතා ලකුණු 1,172ක් හිමිවී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ දී ජූලි 15 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් සාරංගි හට උස පැනීමේ ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 32 අතර සිටි යුතු වෙනවා.

සාරංගිට අමතරව සුමේධ රණසිංහ, කාලිංග කුමාරගේ හා ගයන්තිකා අබේරත්නත් සාරංගි සමඟ 11 වැනිදා තරග පිටියට පිවිසුනත්, ඔවුන්ට එතරම් සාර්ථක වෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

ජාතික හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ අවසන් මහා තරගයේ දී මීටර් 70.21ක දුරක් වාර්තා කළේ එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනා ගනිමින්. මෙවර මලල ක්‍රීඩා තරග වාරය පුරාම සුමේධ මීටර් 78 සීමාවට ආසන්නව වාර්තා කර තිබීම විශේෂත්වයක්. රණසිංහ ශ්‍රේණිගත කිරීම්වල 30 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

මීටර් 400 ජාතික ශූර කාලිංග කුමාරගේ සිය ඉසව්ව නිම කළේ 6 වැනි ස්ථානයේ. ඔහු ඒ සඳහා වැය කළ කාලය තත්පර 46.42ක්. ගයන්තිකා මීටර් 800 ඉසව්ව 9 වැන්නා ලෙස නිමා කළේ මිනිත්තු 2:03.62ක කාලයක් වාර්තා කරමිනුයි.

ATLETICAGENEVE – EAP තරගාවලියේ ප්‍රතිඵල.

ක්‍රීඩකයා/ක්‍රීඩිකාව ඉසව්ව දක්ෂතාවය ස්ථානය
සාරංගි සිල්වා දුර පැනීම 6.33 (2.4 wind) 1st
සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීම 70.21m 4th
කාලිංග කුමාරගේ මීටර් 400 46.42s 6th
ගයන්තිකා අබේරත්න මීටර් 800 2.03.62min 9th

 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<