ඉන්දියාවට ගිය අමාෂා සහ අරුණ අවසන් මහා තරගයට

61 වැනි ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවය

739
Amasha and Aruna qualify

චෙන්නායි හිදි අද (10) ආරම්භ වූ 61 වැනි ඉන්දිය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අමාෂා ද සිල්වා සහ අරුණ දර්ශන ඔවුන් නියෝජන කරන ඉසව්වන් හි අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා.

මීටර් 100 ජාතික ශූරිය වන අමාෂා ද සිල්වා අද පැවති මීටර් 100 මූලික වටයේ තරගවල දී 11.78ක දක්ෂතාවයක් වාර්තා කරන්නට සමත් වුනා. ඉන්දීය සුපිරි කෙටිදුර ධාවන ශූරි Hima Das මෙහි පළමු ස්ථානය දිනා ගත්තේ තත්පර 11.67කින් ඉසව්ව අවසන් කරමිනුයි. සමස්ත මූලික වටයේ තරග අවසානයේ දී ආසියානු තරගාවලියේ රිදි පදක්කම් ලාභී Dutee Chand හොඳම කාලය වාර්තා කරමින් තත්පර 11.40කින් මූලික වටය අවසන් කරන්නට සමත් වුනා.

අවසන් පූර්ව වටයේ දී ද තියුණු සටනක් සමඟින් තත්පර 11.79ක කාලයක් සමඟින් තෙවැන්නා ලෙස ඉසව්ව අවසන් කරන්නට අමාෂා සමත් වූ අතර එහි දී ප්‍රථම ස්ථානය දිනා ගත්තේ Chad විසිනි (11.40).

මීට අමතරව අද පැවති මීටර් 400 මූලික වටය සහ අවසන් පූර්ව තරග සඳහා සහභාගී වූ අරුණ දර්ශන පිළිවෙළින් තත්පර 46.69ක් සහ 46.34ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්වේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වුනා. ඔහු මෙවර තරගාවලියේ මෙතෙක් වාර්තා වූ දෙවැනි හොඳම කාලය තමන් සතු කර ගන්නට සමත් වුනා.

කාන්තා මීටර් 100 සහ පිරිමි මීටර් 400 ඉසව් දෙකේම අවසන් මහා තරග හෙට (11) සවස පිළිවෙළින් 7.15ට සහ 7.45ට පැවැත්වීමට නියමිතයි.

මෙම ඉසව් ද්විත්වයට අමතරව ශ්‍රී ලංකා 4×100 සහය දිවීමේ කණ්ඩායම ද සිය මූලික වටයේ තරග සඳහා හෙට සහභාගී වීමට නියමිතයි. එම සංචිතය සඳහා අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න සහ ලක්ෂිකා සුගන්ධි ඇතුළත් වනවා.

2023 වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 11ක්. කෙසේ නමුත් මෙම තරගාවලියේ දක්වනු ලබන දක්ෂතා ලෝක ශ්‍රේණිගත කිරීම් සඳහා සලකා බලන්නේ නැහැ.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම:

  • පිරිමි 400X4 කණ්ඩායම: අරුණ දර්ශන, ඉසුරු ලක්ෂාන්, පබසර නිකූ, දිනුක දේශාන්, ආර්. එම්, රාජකරුණා
  • කාන්තා 4×100 කණ්ඩායම: අමාෂා ද සිල්වා, රුමේෂිකා රත්නායක, ශෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න, ලක්ෂිකා සුගන්ධි
  • කේවල ඉසව්: රොෂාන් ධම්මික (මීටර් 110 කඩුලු පැනීම), චමල් කුමාරසිරි (තුන් පිම්ම)

තරගාවලියේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන ඉසව් හි කාලසටහන

  • ජුනි 10 – මීටර් 100 කාන්තා (මූලික වටය, අර්ධ), මීටර් 400 පිරිමි (මූලික වටය, අර්ධ)
  • ජුනි 11 – මීටර් 100 කාන්තා කඩුලු පැනීම (මූලික වටය, අර්ධ), මීටර් 4*100 කාන්තා (මූලික වටය), මීටර් 100 කාන්තා (අවසන්), මීටර් 400 පිරිමි (අවසන්)
  • ජුනි 12 – මීටර් 100 කාන්තා කඩුලු පැනීම (අවසන්), මීටර් 4*100 කාන්තා (අවසන්)
  • ජුනි 13 – මීටර් 200 කාන්තා (මූලික වටය), මීටර් 200 (මූලික වටය), මීටර් 4*400 පිරිමි (මූලික වටය)
  • ජුනි 14 – මීටර් 200 කාන්තා (අවසන්), මීටර් 200 පිරිමි (අවසන්), මීටර් 4*400 පිරිමි (අවසන්), , තුන් පිම්ම (අවසන්)

(ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීටර් 100 කඩුලු මතින් දිවීම සහ මීටර් 200 කේවල ඉසව් සඳහා ද සහභාගී වීමට ඉඩ ඇත)

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<