​කල්කටාවේ​ ​දී වාසියට පැරදුණ කාසිය​

ලෝක කුසලානයේ නෑසූ කතා (07)

719

1996 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සැලසුම් සකස් කරන්නේ අවුරුද්දකට දෙකකට කලින්. නායක අර්ජුන රණතුංග කියන විදියට ඔහුගේ මූලික අරමුණ වෙලා තිබුණේ ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව තරගය ජය ගන්න එක. එහෙම වුනොත් අපි ලෝකයේ හොඳම කණ්ඩායම් හතරෙන් එකක් වෙනවා කියන එක අර්ජුන විශ්වාස කළා.

ලෝක කුසලාන සිහිනය බොඳ කළ ස්ත්‍රී දූෂණ චෝදනාව

1999 වසරේ ලෝක කුසලානයට නම් කල දකුණු අප්‍රිකානු සංචිතයෙන් අවසාන මොහොතේ මකායා….

ඉතින් එංගලන්තය එක්ක ෆයිසලාබාද් වල තිබුණ අර්ධ අවසාන පූර්ව තරගය ජය ගත්තාම අවසාන පූර්ව තරඟයට එහෙමත් නැත්නම් සෙමි ෆයිනල් එකට අපිට මුහුණ දෙන්න වුනේ ප්‍රබල ඉන්දියානුවන්ට එරෙහිව. ඒකත් ඉන්දියානුවන්ගේ බළකොටුවක් ලෙස හැඳින්වෙන කල්කටාවේ ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී. ඉන්දියානු උපමහද්වීපය තුල ඉන්දියාව පරාජය කරනවා කියන එක කිසිම කණ්ඩායමට ලෙහෙසි නැහැ. එහෙම බැලුවාම ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ලෝක කුසලාන ගමනේ මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය ඔවුන් ඉදිරියේ තිබෙන්නේ.

1996 වසරේ මාර්තු  දහතුන් වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉන්දියානු කණ්ඩායම තරග වැදුණ ලෝක කුසලාන අවසාන පූර්ව තරගය නරඹන්නට ලක්ෂයකට අධික පිරිසක් කල්කටාවේ ඊඩන් ගාඩ්න්ස් වෙත ඇවිත් සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පූර්ව තරග සැලසුම් කළ ඉන්දියානුවන් මහත් ප්‍රශ්න රැසකට මුහුණ දීලා හිටියේ. ජයසූරිය – කළුවිතාරණ සංයෝගය මෙන්ම ලකුණු හඹා යෑමේ දී ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව දක්වන දක්ෂතා ඉන්දියානුවන්ගේ අර්බුදය තවත් වැඩි කරලයි තිබුණේ.

ඔවුන්ගේ කණ්ඩායම් සාකච්ඡාවේ වැඩිම ඉඩක් වෙන්වී තිබුණේ ජයසූරිය – කළුවිතාරණ මෙල්ල කරන්නේ කොහොමද කියන කාරණාවට. කලින් මේ කණ්ඩායම් දෙක දිල්ලියේ දී  මුණ ගැහුණ වතාවේ නොසෑහෙන කාපු බැට ඉන්දියානු ක්‍රීඩකයින්ට මෙන්ම ප්‍රේක්ෂකයින්ට ද අමතක වෙලා තිබුණේ නෑ.

පෙර සැලසුම් අනුව ඉන්දියානුවන්ට ඕන වුනේ ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහර දෙන්න යවන්න. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕන වුනේ දෙවන වර පන්දුවට පහර දීලා ඉන්දියානුවන් දෙන ඕනෑම ඉලක්කයක් හඹායන්න.

නමුත් එදා තරගයට පෙර තණතීරුව පරීක්ෂා කරන අතරේ ලංකාවේ පුහුණුකරු ලෙස කටයුතු කරපු ඩේව් වට්මෝර් දැකපු දෙයින් තමන්ගේ සැලසුම් වහ වහා වෙනස් කරගත යුතු බව තේරුම් ගත්තා. තණතීරුව මතුපිටින් ඉතා හොඳින් පෙනෙන්නට තිබුනත් තණතීරුවට යටින් ඉතා ලෙහෙසියෙන් කැඩී යන බවක් පෙන්නුම් කළේ.  

වට්මෝර් කියන විදියට ඒ තණතීරුව කිසිසේත්ම පන්දුවාර සීයයකට ගැළපෙන එකක් නෙවෙයි. වට්මෝර් වහාම නායක අර්ජුන මුණ ගැහිල තමන් නිරීක්ෂණය කළ දේ අර්ජුනට කිව්වත් ඔහුගේ තීරණය වුනේ කාසිය වාසිය ජයග්‍රහණය කළොත් අනිවාර්යයෙන්ම දෙවැනියට පන්දුවට පහර දිය යුතු බවයි. අර්ජුන ඉතින් කිව්වොත් කිව්වා තමයි.

සියල්ල තීරණය වන්නේ කාසියේ වාසිය මත බවත් මොහොමඩ් අසාරුඩීන් එය ජයග්‍රහණය කළහොත් කිසිම විටෙක දෙවැනියට පන්දුවට පහර දෙන්නට ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොදෙන බව වට්මෝර් දැනගෙන හිටියා.

එතැන් පටන් වට්මෝර් කාසියේ වාසිය අසාරුඩීන්ට ලබා දෙන මෙන් දෙවියන්ට කන්නලව් කළ බව කියනවා. එදා කාසිය බිම පතිතවනවාත් සමඟ ඇතිවූ ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන්ගේ ඔල්වරසන් මැද අතිශය සතුටට පත්වූ එකම ශ්‍රී ලාංකික හිතවාදියා ඩේව් වට්මෝර් කියලා කියන්න පුළුවන්.

1999 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවට අත්වූ ඉරණම

1983 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබාදීමෙන් අනතුරුව නැවතත්….

එදා ඉන්දියානුවන් සැලසුම් කළ පරිදි සියල්ල සිදු වෙමින් තිබුණා. ලෝකයේ  සියලුම පන්දු යවන්නන් බියෙන් සලිත කළ සනත් ජයසූරිය- රොමේෂ් කළුවිතාරණ යන ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු පුවරුවේ එක් ලකුණක් සටහන් වෙද්දී පළමු පන්දුවාරය තුල දී ම ක්‍රීඩා මණ්ඩපයට හරවා යවන්නට ඉන්දියානු පන්දු යවන්නන් සමත් වුනා.

වෙන්කතේෂ් ප්‍රසාද් තර්ඩ්මෑන් කලාපයේ සිට ජයසූරියගේ උඩපන්දුව රැකගන්නා විට ඉන්දියානුවන් හිතුවේ ආයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩ ඒමක් නෑ කියල. කඩුලු දෙකක් දැවී ගිය තැන කඩුල්ලට එකතු වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක අරවින්ද ද සිල්වා.

එතැන් පටන් කල්කටාවේ නරඹන්නන්ට දැක ගත හැකි වුනේ තනිකරම ගිනිකෙළි සංදර්ශනයක්. ඉන්දියානුවන්ට හිතා ගන්නවත් බැරි වෙන්න කලින් අරවින්ද තමන්ගේ අර්ධ ශතකය පසුකර ගියා. එදා අරවින්දගේ පිත්තෙන් ඊඩන්ස් ගාඩ්න්ස් පිටියේ සතර කොණටම පහරවල් එල්ල වුනා.

අවසානයේ අනිල් කුම්බ්ලේගේ පන්දුවකට අරවින්ද දැවී ගියේ පන්දු 47ක් තුළ ලකුණු 66ක් රැස්කර ගෙන. ඉන්දියානුවන්ගේ අතේ තිබිච්ච තරගය ආපහු අපේ පැත්තට ගන්න අරවින්ද පටන්ගත්තු සටන රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංගගේ ඉඳලා චමින්ද වාස් පවා අත ඇරියේ නෑ. හොඳ සටනක් දෙන්න පුළුවන් ලකුණු ගාණක් ලකුණු පුවරුවට එකතු කරගන්න මේ ක්‍රීඩකයෝ මහත් උත්සාහයක් ගත්තා.

ලකුණු දෙසීය පනස් ගණනක ඉලක්කයක් හඹා යන්න ආපු ඉන්දියානු කණ්ඩායමේ නව්ජෝට් සිධු ඉක්මනින්ම දැවී ගියා. ඒකත් තීරණාත්මක සාධකයක්. දඟපන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දෙන ක්‍රීඩකයෙක් විදියටයි සිධු ප්‍රසිද්ධ.

නමුත් දෙවැනි කඩුල්ලට තෙන්ඩුල්කාර් සහ සංජේ මන්ජේකාර් අතර ස්ථාවර දිගු සම්බන්ධතාවයක් ඇතිවෙද්දී තෙන්ඩුල්කාර් දවා ගන්න කඩුල්ල පිටුපස ඉඳල රොමේෂ් කළුවිතාරණ ලබා ගත්තු ස්ටම්ප්  කිරීම අපේ ක්‍රිකට් ඉතිහාසයේ එක්තරා වැදගත් සංධිස්ථානයක්.

ක්‍රීඩකයෙක් හැමවිටම ප්‍රතිවාදියාගේ අතපසුවීම් ගැන අවධානයෙන් සිටිය යුතු බවට හොඳම උදාහරණයක් ඒක. ඒ සිද්ධිය වර්තමාන ක්‍රීඩකයින්ටත් හොඳම ආදර්ශයක්. තරගාවලිය පුරාම ලකුණු අතර හිටපු තෙන්ඩුල්කාර්ගේ දැවී යෑමෙන් පස්සේ තණතීරුවේ සැබෑ ස්වරූපය දැකගන්න පුළුවන් වුනා. ඉන්දියානු කණ්ඩායමේ කඩුලු එක පිට එක දැවී යන්න පටන් ගත්තා. කඩුලු අටක් දැවිල ගිහින් ඉන්දියානු කණ්ඩායම අසරණ වෙද්දී කල්කටාවේ නරඹන්නන් ඉතා කලහකාරි ලෙස හැසිරෙන්න වුනා. ඉතින් තරග තීරකවරයා විදියට කටයුතු කරපු ක්ලයිව් ලොයිඩ් මහත්මයා අභීතව පිටිය මැදට ගිහින් අදාළ පාර්ෂව එක්ක සාකච්ඡා කරලා තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රදානය කරන්න තීරණය කළා.

තරඟයේ කෙටි ලකුණු පුවරුව.

  • ශ්‍රී ලංකාව 251/8 (50): අරවින්ද ද සිල්වා 66, රොෂාන් මහානාම 58, ජවගල් ශ්‍රීනාත් 34/3
  • ඉන්දියාව 120/8 (34.1: සචින් තෙන්ඩුල්කාර් 65, සනත් ජයසූරිය 12/3
  • තරගයේ වීරයා: අරවින්ද ද සිල්වා

මොන යම් හෝ අවාසනාවකට එදා අර්ජුන රණතුංග කාසියේ වාසිය දිනුවා නම්….?

තවත් නෑසූ කතාවක් සමඟ හමුවෙමු!

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<