නව තරගාවලි වාර්තා 4ක් සමඟින් තෙවැනි දිනය නිමාව දකියි

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

203

ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ තෙවැනි දිනය වූ අද (09) නිමාවට පත්වුනේ නව තරගාවලි වාර්තා හතරක් පිහිටවමිනුයි.

අද (09) උදෑසන වරුවේ පැවති වයස අවුරුදු 20න් පහළ කාන්තා රිටි පැනීම ඉසව්වෙහි මීටර් 37.47ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට නිහංසා මන්දිනීට හැකි වුනා.

වයස අවුරුදු 20න් පහළ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව නව තරගාවලි වාර්තාවක් සමඟින් ජයග්‍රහණය කිරීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංගට (මීටර් 69.30) හැකි වූ අතර මීටර් 64.95ක දස්කමක් දැක්වූ පුත්තලම සාන්ත මේරි විද්‍යාලයේ දිනේෂ් දිල්ෂාන් පෞද්ගලික හොඳම දක්ෂතාව සමඟ දෙවැනි තැන දිනාගත්තා.

වයස අවුරුදු 20න් පහළ පිරිමි කාණ්ඩයේ තවත් ඉසව්වක් වූ මිටිය විසිකිරීම ඉසව්ව සඳහා සහභාගී වූ S. Mithunraj මීටර් 40.45ක දස්කමක් දක්වමින් නව තරගාවලි වාර්තාවක් සමඟ ජයග්‍රහණය හිමි කරගත්තා.

>>තරගාවලියේ මෙතෙක් පිහිටවූ වාර්තාවන්<< 

ජාතික මලල ක්‍රීඩා පිටියෙහි කැපී පෙනෙන යොවුන් ක්‍රීඩකයෙක් වන ඒ. පුවිතරන් වයස අවුරුදු 23න් පහළ රිටි පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 5.00ක උසක් තරණය කරමින් එහි තරගාවලි වාර්තාව ද බිඳ හෙළමිනුයි.

අද දිනය ආරම්භ කරමින් පැවති වයස අවුරුදු 18න් පහළ පිරිමි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 10:01.95ක කාලයකින් අවසන් කරමින් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ එස්. ෆොන්සේකා ජයග්‍රහණය හිමි කරගන්නා විට එම වයස් කාණ්ඩයේ කාන්තා ඉසව්වෙහි ජයග්‍රහණය හිමි වුනේ ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ එන්. වික්‍රමසිංහ හටයි.

එමෙන්ම අද පැවති වයස අවුරුදු 20න් පහළ පිරිමි දුර පැනීම ඉසව්වේහි මීටර් 7.76ක කැපී පෙනෙන දස්කමක් වාර්තා කරමින් ජයග්‍රහණය හිමි කරගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ හිරූෂ හෂාන්ට හැකි වුනා.

අද දිනයේ දී සියලුම වයස් කාණ්ඩයන්හි කාන්තා සහ පිරිමි මීටර් 100 සහ 400 මූලික ඉසව් පැවති අතර එහි අවසන් තරග හෙට (10) පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් දිනය වන හෙට (10) දිනයේත් තරග තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.Com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>>තරගාවලියේ මෙතෙක් තරග ප්‍රතිඵල<<

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<