සාරංගි විදෙස් සංචාරයක

223

කාන්තා දුර පැනීම ඉසව්වේ දකුණු ආසියානු ශූරිය වන සාරංගි ද සිල්වා අද (02) ඔස්ට්‍රියාවේ පැවැත්වෙන Austria Open Athletic championship තරගාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතයි.

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් සහ ඔස්ට්‍රියා මලල ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වන මෙම තරගාවලියට සහභාගී වීමට ලැබීම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පෙර සාරංගි හට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්.

මෙම තරගාවලියට අමතරව සාරංගි ද සිල්වා ජුනි 05 වැනිදා පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා මහද්වීපික සවාරියේ රන් කාණ්ඩයේ තරගාවලියක් වන 68th Orlen Janusz Kusocinski Memorial meet තරගාවලියට සහභාගී වීමට ද නියමිතයි.

මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ඇති සාරංගි ද සිල්වාට සිය ශ්‍රේණිගත කිරීම් ලකුණු ඉහළ නංවා ගනිමින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට මෙම රන් කාණ්ඩයේ තරගාවලිය ඉතා වැදගත් වනු ඇත.

පෝලන්තයේ පැවැත්වෙන මෙම තරගාවලිය පෝලන්ත මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන අතර එයට සහභාගී වන එකම ශ්‍රී ලාංකිකයා වන්නේ ද සාරංගියි.

එම තරගාවලි ද්විත්වයෙන් පසුව සාරංගි ජුනි 11 ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත 34th International Athletic Meet තරගාවලියට සහභාගී වීමට නියමිත අතර එම තරගාවලිය සඳහා ඇයට අමතරව කාලිංග කුමාරගේ, සුමේධ රණසිංහ සහ ගයන්තිකා අබේරත්න යන ක්‍රීඩික ක්‍රීඩිකාවන් ද සහභාගී වීමට නියමිතයි.

ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන එම තරගාවලිය නියෝජනයෙන් පසුව එම ශ්‍රී ලංකා සංචිතය ස්විස්ටර්ලන්තයේම Bern හී පැවැත්වීමට නියමිත Citrus International meet තරගාවලියට සහභාගී වීමට සූදානමින් පසු වන අතර ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන තරගාවලිවල දී පුහුණුකරු විමුක්ති ද සොයිසා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතයි.

මෙම තරගාවලිවලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වන නිසාවෙන් මෙම තරගාවලි ඔවුන්ට සිය රිද්මය ඉහළ නංවා ගැනීමට ඉතා වැදගත් වනු ඇත.

එමෙන්ම මෙම වසර තුළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය පැවැත්වීමට ද නියමිතව ඇති නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රේණිගත කිරීම් හි ඉහළට පැමිණෙමින් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ද මෙම විදෙස් සංචාර මහත් පිටිවහලක්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<