SSC ඉදිරියට ගෙන ගිය සංජුලගේ ශතකය

254
SLC 23 Cricket tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට SSC, CCC, හලාවත මේරියන්ස් සහ  හමුදා කණ්ඩායම් සමත් විය. ඒ අද පැවති අර්ධ අවසන් පූර්ව තරග වලදී පිලිවෙලින් NCC, වරාය අධිකාරි, නාවික හමුදා සහ සැරසන්ස් ක්‍රීඩා සමාජ පරාජය කරමිනි.

නාවික හමුදාව සහ හලාවත මේරියන්ස් 23න් පහල කණ්ඩායම් අතර අර්ධ අවසන් පූර්ව  තරගය පැවැත්වුයේ මේට්ලන්ඩ් පෙදෙස CCC ක්‍රීඩාංගනයේදීයි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නාවිකයින් සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 226ක් පමණයි. ඔවුන් වරෙක ලකුණු 144ට කඩුලු 7 ක් දැවී අසරණ තත්වයේ පසු වුවත් අංක 8 සහ 9 පිතිකරුවන් වූ තුසර සමරකෝන් (62) සහ ඉෂාන් කනිෂ්ක (22) නාවික හමුදා කණ්ඩායම සටන්කාමි ලකුණු සංඛ්‍යාවක් වෙත  ලදී. නමුත් තරගාවලිය පුරා ලකුණු අතර සිටි හලාවත මේරියන්ස් පිතිකරුවන් ඉතා පරීක්ෂාකාරීව මේ ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව

නාවික හමුදා ක්‍රී.ස. – සියල්ලන් දැවී – 226 (49.3) තුසර සමරකෝන් – 62, සමීර සඳමාල් – 40, කුසල් ලක්තිලිණ – 37, චරිත් රාජපක්ෂ – 3/32, අයන සිරිවර්ධන 2/24, රවීන් යසස් – 2/32

හලාවත මේරියන්ස් – 228/5 (49) රිසිත් උපමාල් – 66, ලක්ඛණ ජයසේකර – 44, කසුන් විදුර – 34, ඉශාන් කනිෂ්ක – 3/50

හලාවත මේරියන්ස් අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්


කොළඹ CCC කණ්ඩායම සහ වරාය අධිකාරී කණ්ඩායම තරග වැදුණේ කටුනායක නිදහස් වෙළඳ කලාප පිටියේදී. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් CCC ක්‍රීඩකයන් පන්දුවාර 46.3ක් තුළ ලකුණු 198කට දැවී යන ලදි. M. මධුරංග ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුයේ හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමග ලකුණු 56ක් රැස් කරමිනි. අනෙක් කිසිදු CCC පිතිකරුවෙක් ලකුණු 20 සීමාව ඉක්මවන්නට සමත් නොවීය.

කෙසේ වෙතත් වරාය පිතිකරුවන් 6 දෙනෙක්වම ලකුණු 4ට වඩා අඩුවෙන් දවාගත් CCC කණ්ඩායම අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන් කර ගන්නට සමත් විය. හුදෙකලා සටනක නිරත වූ යොහාන් ශානක වරාය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 71ක් රැස් කරන ලදී. ඉතිරි පිතිකරුවන් සියල්ලන්ම එක්ව රැස් කර තිබුනේ ලකුණු 58ක් පමණි.මේ අනුව ඔවුන්ගේ ඉනිම ලකුණු 129කට සීමා විය.

ලකුණු පුවරුව

CCC – සියල්ලන් දැවී – 198 (46.3) M මධුරංග – 56, රොෂාන් අනුරුද්ධ – 19, ශාලුක සිල්වා – 19, ඉශාන් රංගන – 3/27, ෂෙහාන් වීරසිංහ – 2/29, මධුරංග රාජපක්ෂ – 2/53

වරාය අධිකාරී ක්‍රී.ස. – සියල්ලන් දැවී – 129 (32.4) යොහාන් ශානක – 71, H මධුශාන් – 20, ශාලුක සිල්වා – 3/9, රොෂාන් අනුරුද්ධ – 3/24, රවීන් සේයර් – 2/37

CCC අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 69ක ජයක්


සැරසන්ස් කණ්ඩායම සමග කොළඹ NCC ක්‍රීඩාංගනයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ යුද හමුදා කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 50 තුළ කදුළු 9කට ලකුණු 243ක් රැස් කිරීමට සමත් විය. සශින් දිල්රංග සහ ලියෝ ෆ්‍රැන්සිස්කෝ අර්ධ ශතක ලබා ගනිමින් ඉනිම සවිමත් කරන්නට සමත් විය.

සැරසන්ස් කණ්ඩායමද අර්ධ ශතක 3ක් සමගින් අවසානය දක්වා සටන් වැදුනත් එම පීඩනය මනාව පාලනය කල යුද භටයන් ලකුණු 8ක තියුණු ජයක් තහවුරු කරගන්නට සමත් විය.

මාතර ශාන්ත සර්වේශස් විදුහලෙන් බිහිවූ යොවුන් ක්‍රීඩක සංජික රිද්මගේ තුන් ඉරියව් දස්කම් යුද හමුදා ජයග්‍රහණයට විශාල දායකත්වයක් විය.

ලකුණු පුවරුව

යුද හමුදා ක්‍රී.ස. – 243/9 (50) සශින් දිල්රංග – 64, ලියෝ ෆ්‍රැන්සිස්කෝ – 63, – සංජික රිද්ම – 22, සංගීත් කුරේ – 3/39, ෂෙහාන් මධුශංක – 3/45

සැරසන්ස් ක්‍රී.ස. – සියල්ලන් දැවී – 235 (49.4) ඉශාන් නිලක්ෂ – 63, සංගීත් කුරේ – 57, තරුශාන් ඉද්දමල්ගොඩ – 54, සංජික රිද්ම – 4/54, යොහාන් ද සිල්වා 2/24

යුද හමුදා අවුරුදු 23න් පහළ කණ්ඩායමට ලකුණු 8ක ජයක්


අද දිනයේ වඩාත්ම අවධානය යොමුවූ කොළඹ SSC සහ NCC ක්‍රීඩා සමාජ අතර තරගය පැවැත්වුයේ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදීය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් NCC ක්‍රීඩකයන් පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 243කි, ඔවුන්ගේ මුල් පිතිකරුවන් තිදෙනා එක්ව ලකුණු 164ක් රැස් කළද මැද පෙළ අසාර්ථක වීම හේතුවෙන් වඩාත් ඉහල ඉලක්කයක් පිහිටුවීමේ අවස්තාව අහිමිවිය. A. පුංචිහේවගේ සහ රමේෂ් මෙන්ඩිස් NCC මැද පෙළ බිඳ දැමීමේ පුරෝගාමීන් විය.

අද දිනයේ එකම ශතකයට හිමිකම් කියූ K. සංජුල SSC පිළිතුරු ඉනිම ජයග්‍රාහී මාවතට ගෙන ගිය අතර, A. පුංචිහේවගේ පිත්තෙන්ද දස්කම් දක්වමින් අර්ධ ශතකයක් සමග කණ්ඩායමේ ජය තහවුරු කරන ලදී.

ලකුණු පුවරුව

NCC – 243/8 (50) පවන් වික්‍රමසිංහ – 80, ලහිරු උදාර – 62, සඳුන් වීරක්කොඩි – 22, A. පුංචිහේවගේ 4/39, රමේෂ් මෙන්ඩිස් 3/31

SSC – 244/6 (48.4)  K. සංජුල – 106, A. පුංචිහේවගේ – 53, P. ප්‍රනාන්දු – 35, ලසිත් ඇඹුල්දෙනිය – 2/27, අනුක් ප්‍රනාන්දු – 2/49

SSC අවුරුදු 23න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයක්

අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ලබන සිකුරාදා (22) කොළඹ SSC සහ NCC ක්‍රීඩාංගන වලදී පැවැත්වීමට නියමිතයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට