විශිෂ්ටතම කනිෂ්ඨයෝ තරුෂි සහ හිරුෂ!

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

260
Junior National Athletics Championship 2022

ජාතික මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ අද (10) දිනයේ දී මීටර 100 මෙන්ම මීටර 400 අවසන් තරග ඉසව් සමඟින් නිමාව දුටුවා. තරගාවලිය පැවැත්වුනේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

>> Junior Nationals – 2022 Records

මීටර 400 ජාතික ශූරියක වන වලල ඒ රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 400 ඉසව්ව පහසුවෙන් ජයගත්තේ තත්පර 54.34කින් ඉසව්ව නිමා කරමින්. එමෙන්ම මෙය නව තරගාවලි වාර්තාවක් ද වෙනවා. ඇයට පෙර දිල්ෂි කුමාරසිංහ 2018 වසරේ දී තත්පර 54.36කින් ඉසව්ව නිමා කරමින් වාර්තාවක් තබා තිබුණා.

සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂෙන් වයස අවුරුදු 20න් පහළ දුර පැනීමේ ඉසව්වේ ජය හිමි කරගත්තේ මීටර 7.78ක දුරක් වාර්තා කරමිනුයි. ඔහු තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගත්තා.

>> Challenge trophies

තරුෂි සහ හිරුෂ දෙදෙනාම මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට ද මේ වන විටත් සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්.

දිනයේ වාර්තා වුනු අනෙක් තරගාවලි වාර්තාව වුනේ වයස අවුරුදු 23න් පහළ බාලිකා මීටර 400 ඉසව්වෙන් හර්ෂනී ප්‍රනාන්දු තැබූ පිහිටු වූ වාර්තාවයි. ඇය එම ඉසව්ව තත්පර 54.96කින් නිමා කළේ පී. ජී. එන්. මදුෂිකාගේ වාර්තාව බිඳ දමමින්.

>> Junior Nationals – 2022 Results

මීටර 100 බාලක ඉසව්වෙන් ජාතික ශූර චමෝද් යෝදසිංහ ජය හිමි කරගත්තා. ඔහු තත්පර 11.02 (-3.2m/s)කින් තරගය නිමා කළා. මීටර 100 බාලිකා ඉසව්වේ ජය හිමි කරගත්තේ තත්පර 12.27 (-2.2)කින් තරගය නිමා කළ දුල්යනා සුලුදාගොඩ යි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<