සාන්ත තෝමස් පන්දුවේ අභියෝගයට රාජකීය පිතිකරුවන් සූදානම්

රාජකීය - සාන්ත තෝමස් නිල් මහා සටන

562

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 144 වැනි වරට පැවැත්වෙන නිල් මහා සටන මාර්තු 16 වැනිදා සිට 18 වැනිදා දක්වා කොළඹ 07, SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

කොරෝනා වසංගතය නිසා වූ වසර දෙකකට පසුව ප්‍රථම වරට ප්‍රේක්ෂක සහභාගීත්වය සමඟින් මෙවර මේ මහා තරගය පැවැත්වෙනවා.

අවසන් වරට නිල් මහා සටනක් ජය ගනිමින් මේ වන විට ගරු ඩී. එස්. සේනානායක අනුස්මරණ පලිහ සාන්ත තෝමස් විදුහල සතුව පවතින අතර, 2019 දී සිතර හපුහින්නගේ නායකත්වයෙන් සාන්ත තෝමස් කණ්ඩායම හිමිකර ගත් එම කුසලාන තමන් සන්තකයට ගැනීම පිණිස, රාජකීය කණ්ඩායම සැරසී සිටිනවා. රාජකීයයන් අවසන් වරට නිල් මහා සටනක් ජයගෙන ඇත්තේ ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ 2016 වසරේ දීයි.

මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමන් (1901-1902), ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමන් (1927-1929) යන හිටපු අගමැතිවරුන් සාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින් ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් (1925) රාජකීය විදුහල නියෝජනය කරමින් අදාළ වසරවල දී මෙම ඓතිහාසික මහා සටනට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් වනවා.

සිව්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙක් වන දසිස් මංචනායකගේ නායකත්වය යටතේ රාජකීය විද්‍යාලය මෙවර මහා තරගයට අවතීර්ණ වෙනවා. මෙය දසිස්ගේ සිව්වැනි මහා තරගය වන අතර මෙවර මහා තරගය ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් අතරින් ප්‍රේක්ෂකයින් ඉදිරියේ මහා තරගයක් ක්‍රීඩා කර තිබෙන එකම ක්‍රීඩකයා ඔහුයි.

රාජකීය විද්‍යාලය 2022/23 තරග වාරයේ දී ඔවුන් සහභාගී වුනු දෙදින තරග 15න්, තරග 3ක පූර්ණ ජයග්‍රහණ ලබා ගෙන තිබෙන අතර පළමු ඉනිමේ ජයග්‍රහණ 4ක් ද එයට ඇතුළත්. ඊට අමතරව තවත් තරගයක් කිසිදු ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා. පළමු ඉනිමේ පරාජයන් පහක් සහ පූර්ණ තරග පරාජයන් දෙකක් ද ඔවුන්ගේ ගිණුමට ඇතුළත්.

එසේම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමට ද රාජකීය කණ්ඩායම සමත් වී සිටිනවා.

මෙම තරග වාරයේ ඔවුන්ගේ පිතිකරණ අංශයේ වටිනාම ක්‍රීඩකයා බවට පත්ව තිබෙන්නේ මැදපෙළ වමත් පිතිකරු දසිස් මංචනායකයි.

සිය සිව්වැනි මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින 19 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක මංචනායක අර්ධ ශතක 7ක් සහ ශතක 2ක් සමඟ ලකුණු 1059ක් ලබාගෙන තිබෙනවා. එසේම වමතින් දඟපන්දු යවන මංචනායක කඩුලු 25ක් දවාගෙන කණ්ඩායම සමබරතාවය රැකීමට විශාල මෙහෙයක් සිදු කරනවා.

මෙම තරග වාරය තුළ ලකුණු 400කට වැඩියෙන් ලබාගෙන තිබෙන 14 හැවිරිදි ආරම්භක දකුණත් පිතිකරු රෙහාන් පීරිස් සහ උවිඳු වීරසේකර පිතිකරුවන් ලෙස ඉතාමත් හොඳ රිද්මයක සිටිනවා. එසේම දකුණතින් පිට දඟපන්දු යවන නෙත්වින් ධර්මරත්න මෙවර තරග වාරය තුල කඩුලු 31ක් දවාගෙන ඇත්තේ ඉනිමක දී ලකුණු 25කට කඩුලු 7ක් දවා ගැනීම සිය හොඳම පන්දු යැවීම ලෙස සටහන් කරගෙනයි.

තවද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ලකුණු 349ක් සහ කඩුලු 29ක් දවාගෙන තිබෙන මැදපෙළ පිතිකරු දකුණතින් පා දඟපන්දු යවන රමිරු පෙරේරා ද කණ්ඩායමේ සමබරතාවය රැකගැනීමට විශාල මෙහෙයක් ඉටු කරන අතර, වේගපන්දු යවන්නන් ලෙස රනුක මලවිආරච්චි, බුලාන් වීරතුංග සහ ඩෑන් පොඩ්ඩිවෙල පිළිවෙළින් කඩුලු 21ක්, කඩුලු 16ක් සහ කඩුලු 11ක් දවාගෙන තිබෙනවා.

අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන රොහාන් සොයිසා මහතා නොකඩවා දෙවැනි වසරටත් මෙවර රාජකීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන අතර චරිත් ප්‍රනාන්දු මහතා කණ්ඩායමේ සහාය පුහුණුකරු වෙනවා.

රාජකීය විද්‍යාලයීය මහා තරග සංචිතය: දසිස් මංචනායක (නායක), සිනෙත් ජයවර්ධන (උප නායක), බුලාන් වීරතුංග, ඩෑන් පොඩ්ඩිවෙල, සංදේශ් රාමනායක. උවිඳු වීරසේකර, සංවිඳු සෙනරත්ආරච්චි (කඩුලු රකින්නා), රමිරු පෙරේරා, නෙත්වින් ධර්මරත්න, ඔවින්ද අඹන්පොල, රනුක මලවිආරච්චි, රෙහාන් පීරිස්, අනුෂ් පොලොනොවිට, දිනුර සේනාරත්න. ගීසාන් පෙරේරා

තෙවැනි වසරේ වර්ණලාභී ක්‍රීඩකයෙකු වන රොමේෂ් මෙන්ඩිස් මෙවර මහා තරගයේ දී සාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. මෙය ඔහු ක්‍රීඩා කරනු ලබන දෙවැනි මහා තරගයයි.

සාන්ත තෝමස් විද්‍යාලය මෙවර දෙදින තරග වාරයේ දී හොඳින් දක්‍ෂතා දක්වා තිබෙනවා. ඔවුන් තරග 17ක් ක්‍රීඩා කරමින් ඉසිපතන, මහින්ද, ධර්මපාල සහ යාපනය සාන්ත ජෝන් විද්‍යාලවලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ 4ක් සමඟ පළමු ඉනිමේ ජයග්‍රහණ 10ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව පළමු ඉනිමේ පරාජයන් 2ක් සහ තීරණයක් සහිතව අවසන් වුනු තරගයක් සාන්ත තෝමස් නමට ඉදිරියෙන් සටහන්.

තරග 17ක දී ලකුණු 776කට අධික ප්‍රමාණයක් වාර්තා කරගෙන ඇති මුල්පෙළ දකුණත් පිතිකරු නායක මෙන්ඩිස් මෙවර පාසල් ක්‍රිකට් තරග වාරය තුල සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වනවා. එසේම මෙවර තරග වාරය තුල සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 500 සීමාව ඉක්මවා ගිය පිතිකරුවන් තිදෙනා වන්නේ මෙන්ඩිස්, මහිත් පෙරේරා සහ තිසේන් ඇහැලියගොඩයි.

ඊට අමතරව දිනෙත් ගුණවර්ධන, කඩුලු රකින පිතිකරු සෙනේෂ් හෙට්ටිආරච්චි, නේතන් කල්දේරා සහ සේනාධි බුලන්කුලම ලකුණු 300කට වැඩියෙන් ලබාගෙන තිබෙනවා. මෙම තරගයේ ප්‍රතිඵලය සිය කණ්ඩායම දෙසට යොමුකර ගැනීමට නම් මෙම ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා සාන්ත තෝමස් විද්‍යාලයට ඉතාමත් වැදගත් හා තීරණාත්මක වෙනවා.

තරග 16ක දී කඩුලු 60කට හිමිකම් කියන දකුණතින් වේගපන්දු යවන කල්දේරා මෙවර තරග වාරය තුල සාන්ත තෝමස් විද්‍යාලය සතුව සිටින දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුට අමතරව දකුණතින් පිට දඟපන්දු යවන චාරුක පීරිස් සහ වමතින් වේගපන්දු යවන ආකාෂ් ප්‍රනාන්දු පිළිවෙළින් කඩුලු 55ක් සහ කඩුලු 49ක් දවාගෙන තිබෙනවා.

සාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් ඉතිහාසය තුල වසර 25කට වඩා වැඩි අත්දැකීම් බහුල දිනේෂ් කුමාරසිංහ මහතා මෙවරත් සාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ලසිත් රන්දුනු කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස වගකීම දරනවා.

සාන්ත තෝමස් විද්‍යාලයීය මහා තරග සංචිතය: රොමේෂ් මෙන්ඩිස් (නායක), මහිත් පෙරේරා  (VC) , සෙනේෂ් හෙට්ටිආරච්චි (WK) , නේතන් කල්දේරා, දිනෙත් ගුණවර්ධන, චාරුක පීරිස්, කවිඳු ඩයස්, ආකාශ් ප්‍රනාන්දු, සේනාධි බුලන්කුලම, කවිඳු ඩයස්, අභීත් පරණවිදාන, ඩිරෙන් දියගෝ, ඩිරෙන් ද සිල්වා, ඩිරෙන් ඩියාගෝ, අවිනාෂ් ප්‍රනාන්දු. යුමාල් බෝලේගල, අරිත් අදිකාරම්.

LIVE – Royal College vs S. Thomas’ College – 144th Battle of the Blues

මෙවර තරග වාරය තුළ කණ්ඩායම් දෙකම දැක්වූ දක්‍ෂතා පිළිබඳව සලකා බලන විට සාන්ත තෝමස් විද්‍යාලය තරමක් ඉදිරියෙන් සිටින නමුත් මහා තරගය තුල වැරදි අවම ලෙස සිදු කරමින් හොඳින්ම දස්කම් දක්වන කණ්ඩායමට මහා තරගයේ වැඩි ගෞරවය දිනා ගන්නට අවස්ථාව තිබෙනවා.

මාර්තු 16, 17 සහ 18 දිනවල SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන 114 වැනි නිල් මහා සටන පෙරවරු 9 සිට ThePapare.com, Dialog TV නාලිකා අංක 22 සහ Dialog Viu හරහා සජීව ලෙස නැරඹිය හැකි.

මෙම තරගාවලිය පිළිබඳ සියලු විස්තර සවිස්තරාත්මකව ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<