LPL පිටියට එක් වෙන කොඩුකාරයෝ

Lanka Premier League 2024

132

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍යට වෙන්දේසියේ දී එක් කර ගත් ක්‍රීඩකයන් අතර කෝඩුකාර ක්‍රීඩකයෝ 14 දෙනෙක් සිටිනවා. එහි දී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙසින් ගරුක සංකේත් පත් වෙන අතර ප්‍රථම වරට දිමුත් කරුණාරත්නට ද මෙම තරගාවලියට එක් විමට අවස්ථාවක් හිමි වෙනවා.  

පහත පළ වෙන්නේ එම ක්‍රීඩකයන් ගැන ThePapare.com තබන සටහනක්. 

ගරුක සංකේත් 

Colombo Strikers කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් ඩොලර් 20 000ක මුදලකට මිල දී ගත් 18 හැවිරිදි වියේ පසුවෙන ගරුක සංකේත්, මෙවර තරගාවලිය හා එක් වෙන කෝඩුකාර ක්‍රීඩකයන් අතුරින් ඉහළ ම මිලකට අලෙවි වූ ක්‍රීඩකයායි.  

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් ක්‍රිකට් පිටියට පිවිසි ගරුක  අවස්ථා කිහිපයක දී ම වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වූ අතර නිමා වූ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ද අසුනක් හිමි කර ගත්තා.  

පසුගිය වසරේ මෙරට දී පැවැති වයස අවුරුදු 19න් පහළ බටහිර ඉන්දීය කොදෙව්වන් හා තරග සංචාරයේ දී වඩාත් දක්ෂතා අතරට පිවිසි ගරුක තමන්වෙත ලැබුණ පළමු තරගයේ දී ම ලකුණු 48කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වීම කාගේත් කතා බහට ලක් වූවා. 

දකුණතින් මද වේග පන්දු යවන ගරුක, ලසිත් මාලිංගට සමාන ව පන්දු යවමින් ක්‍රිකට් පිටියේ කාගේත් අවධානයට ලක් වෙන අතර මෙවර ඉන්දීයන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Delhi Capitals කණ්ඩායමේ පුහුණු පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන්නට එක් වුණා. 

මේ වන විට ඔහු Moors ක්‍රීඩා සමාජය එක් ව තම දක්ෂතා මුදා හරිමින් සිටිනවා. ඔහුගේ තරග දත්ත ලැයිස්තුවේ මේ දක්වා පවතින්නේ විස්සයි විස්ස තරග 6ක් පමණයි. 

දිමුත් කරුණාරත්න 

36 හැවිරිදි දිමුත් කරුණාරත්න ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා එක් වෙන පළමු අවස්ථාව මෙයයි.  

ටෙස්ට් පිටියේ තරග 91ක දී ශතක 16ක් සහ අර්ධ ශතක 37ක් සමඟින් ලකුණු 6899ක් ද සහ එක්දින ජාත්‍යන්තර තරග 50කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 11ක් සමඟින් ලකුණු 1316ක් ලබා ඇති දිමුත් කරුණාරත්න මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් එකඳු හෝ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට සහභාගී වී නැහැ.  

නමුත් ඔහුගේ ප්‍රමුඛ පෙළ විස්සයි විස්සයි තරග 34කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 543ක් ලබා තිබෙනවා. එවන් වාතාවරණයකදීයි දිමුත් ව ඩොලර් 10 000ක මුදලකට B-Love Kandy කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් මිල දී ගන්නේ.  

සංතුශ් ගුණතිලක 

Dambulla Thunders කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් තෝරාගත් යොවුන් ක්‍රීඩකයන් අතුරින් 24 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු සංතුශ් ගුණතිලක ද සිටිනවා.  

වෙන්දේසියේ දී ඩොලර් 6 000කට අලෙවි වූ සංතුශ්, 2018 යොවුන් ලෝක කුසලාන තරගාවලිය හා එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වෙමින් පළමු වරට ජාතික ක්‍රිකට් කණ්ඩායමක් හා එක් වෙනවා. අනතුරු ව 2020-21 වසරේ දී දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද 20 දෙනෙක්ගෙන් යුත් සංචිතයේ ද ස්ථානයක් හිමි කර ගැනීමට ඔහු සමත් වුනා. එමෙන් ම 2022 ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය සඳහා සංචිතයත් සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් සංචිතයත් නියෝජනය කිරීමට ඔහු සමත් වෙනවා.  

Ragama ක්‍රිකට් සමාජය හා එක් ව සිටින සංතුශ් National Super League සිවු දින ක්‍රිකට් තරගාවලියේ දී Jaffna කණ්ඩායම නියෝජනය කරමින් තරග 6ක ඉනිම් 9ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 316ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතුරින් ඉදිරි කිහිප දෙනා අතර සිටිනවා.  

මේ දක්වා විස්සයි විස්ස පිටියේ තරග 13ක දී ලකුණු 59ක් සහ කඩුලු 5ක් දවාගෙන සිටින ඔහු පළමු පෙළ තරග පිටියේ දී තරග 39ක දී ශතක 3ක් සහ අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2023ක් සහ කඩුලු 36ක් දවා ගෙන තිබෙනවා. 

රුසඳ ගමගේ  

19 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන රුසඳ ගමගේ වෙනුවෙන් Dambulla Thunders කණ්ඩායම් කළමණාකාරීත්වය වෙන් කරනු ලැබූ මුදල ඩොලර් 5 000ක්.  

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තැබූ රුසඳ ගමගේ නිමා වූ වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙක් ලෙසින් ද කටයුතු කළා.  

වමත් පිතිකරුවෙක් සහ දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන රුසඳ පසුගිය කාලයේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලි කිහිපයකට ම එක් වුනා. 

ඔහු සහභාගී වූ අවසන් යොවුන් එක්දින ජාත්‍යන්තර තරග 5 දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 170ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ පාකිස්තානය, සිම්බාබ්වේ, නැමීබියා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම්වලට එරෙහිවයි. 

ශෙහාන් ප්‍රනාන්දු 

23 වැනි වියේ පසුවෙන ඉදිරි පෙළ වමත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන ශෙහාන් ප්‍රනාන්දුට Colombo Strikers කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් වෙන් කරන ලද මුදල ඩොලර් 5 000ක්.   

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා එක් ව කටයුතු කළ ක්‍රීඩකයෙක් වන ශෙහාන් මේ වන විට පළමු පෙළ තරග 21කට ක්‍රීඩා කරමින් ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1013ක් ද සහ එක්දින සීමිත පන්දුවාර තරග 22ක දී අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 742ක් ලබා ගත් ක්‍රීඩකයෙක් වන අතර මේ දක්වා ඔහු සහභාගී වී ඇති විස්සයි විස්ස තරග ප්‍රමාණය 4ක්.  

ඔහු මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තම දක්ෂතා දක්වමින් සිටිනවා.  

සදීශ රාජපක්ෂ  

Galle Marvels කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් ඩොලර් 5 000ක මුදලක මිලක් නියම කළ සදීශ රාජපක්ෂ තවමත් 20 හැවිරිදි වියේ පසුවෙන ක්‍රීඩකයෙක්.  

මැද පෙළ පිතිකරුවෙක් ලෙසින් සහ දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දක්වන සදීශ කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසෙමින් මේ වන විට කොළඹ SSC කණ්ඩායම නියෝජනය කරමින් තම දක්ෂතා ක්‍රිකට් පිටියට මුදා හරිනවා.  

2022 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ සදීශ මේ වන විට පළමු පෙළ තරග 3කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 185ක් ලබා තිබෙනවා.  

යූරි කොත්තිගොඩ  

18 හැවිරිදි වියේ පසුවෙන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන යූරි කොත්තිගොඩ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසියේ දී අලෙවි වූ ලාබාලතම ක්‍රීඩකයායි. ඔහුට Galle Marvels කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් නියම කළ මුදල ඩොලර් 5 000ක්.  

යූරි, නිමා වූ වයස අවුරුදු 19න් පහළ යොවුන් ලීග් ශූරතාවලියේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 3ක දී කඩුලු 10ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත් වූවා. එමෙන් ම මෙවර නිමා වූ ආදරවන්තයන්ගේ වාර්ෂික එක්දින මහා ක්‍රිකට් තරගයේ දී ලකුණු 14කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ දක්ෂත ම පන්දු යවන්නා බවට ද ඔහු පත් වුවා. 

නිමා වූ වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය සහභාගී වූ කණ්ඩායමේ අතිරේක ක්‍රීඩක ලැයිස්තුවේ ද ඔහුගේ නම එක් ව තිබුණා. 

රනේෂ් සිල්වා 

ඩොලර් 5 000ක මුදලකට Dambulla Thunders කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් මිල දී ගත් 22 හැවිරිදි වියේ පසුවෙන රනේෂ් සිල්වා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙක්. ඔහු මේ වන විට බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. 

 දකුණත් පිතිකරුවෙක් සහ කඩුලු රකින්නෙක් ලෙසින් කටයුතු කරන රනේෂ් මේ දක්වා පළමු පෙළ තරග 23කට ක්‍රීඩා කරමින් ශතක 2ක් සමඟින් ලකුණු 932ක් ලබා සිටින අතර විස්සයි විස්ස තරග 8කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 163ක් ලබා සිටිනවා.  

මෙවර National Super League ක්‍රිකට් තරගාවලියේ Dambulla කණ්ඩායම නියෝජනය කරමින් කළ රනේෂ් තරග 3කට එක් වෙමින් ශතකයක් සමඟින් ලකුණු 234ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් සටහන් වූයේ 39.0ක්.  

මිතුන් ජයවික්‍රම 

Dambulla Thunders කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් ඩොලර් 5 000ක මුදලකට මිල දී ගත් මිතුන් ජයවික්‍රම 33 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්.  

දකුණත් පිතිකරුවෙක් සහ දකුණතින් පිට දඟ පන්දු යවමින් ප්‍රමුඛ පෙළ විස්සයි විස්ස පිටියේ තරග 40කට ක්‍රීඩා කර ඇති මිතුන් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 417ක් ලබා සිටින අතර කඩුලු 22ක් දවාගෙන තිබෙනවා.  

පසුගියදා නිමා වූ National Super League එක්දින ක්‍රිකට් තරගාවලියේ දී මහනුවර කණ්ඩායම නියෝජනය කිරිමට ද සමත් වූ ඔහු මේ වන විට Kandy Customs ක්‍රිකට් සමාජය නියෝජනය කරනවා. 

පවන් රත්නායක  

21 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන පවන් රත්නායක B-Love Kandy කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් ඩොලර් 5 000ක මිලක් නියම කරමින් තම කණ්ඩායම හා එක් කර ගන්නවා.  

කොළඹ මහානාම විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම, ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක්.  

දකුණතින් පිත්ත හසුවරවනු ඔහු පළමු පෙළ තරග 35ක දී ශතක 5ක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1918ක් ලබා ඇති අතර විස්සයි විස්ස තරග 35ක දී ලකුණු 1554ක් ලබා සිටිනවා.  

ඉසිත විජේසුන්දර  

27 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන ඉසිත විජේසුන්දර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මෙන් ම ශ්‍රී ලංකා A කණ්ඩායම ද නියෝජනය කරමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක්. ඔහු පළමු පෙළ තරග 28කට සහභාගී වෙමින් කඩුලු 61ක් ද සහ විස්සයි විස්ස තරග 19කට සහභාගී වෙමින් කඩුලු 23ක් ද ලබා තිබෙනවා.  

මේ දිනවල Bloomfield ක්‍රිකට් කණ්ඩායම හා එක් වෙමින් දක්ෂතා දක්වමින් සිටින ඉසිත Colombo Strikers කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් ඩොලර් 5 000ක මුදලක මිල දී ගන්නවා.  

මර්වින් අබිනාශ්  

Jaffna Kings කළමණාකාරීත්වය විසින් ඩොලර් 5 000ක මුදලකට මිල දී ගත් මර්වින් අබිනාශ් යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ ක්‍රීඩකයෙක්. 23 හැවිරිදි වියේ පසුවෙන ඔහු මේ වෙද්දී BRC කණ්ඩායම හා එක් ව තම දක්ෂතා පළමු පෙළ පිටියට මුදා හරිමින් සිටිනවා.  

නිමා වූ Major Clubs එක්දින ක්‍රිකට් තරගාවලියේ දී Ace Capital ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 53කට කඩුලු 8ක් දවා ගනිමින් කාගේත් අවධානයට ලක් වූ ඔහු එම තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් අභිශේක ලැබීමට ද සමත් වෙනවා. එය ඔහුගේ පළමු අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය වීම ද විශේෂයි.  

දකුණතින් පිට දඟ පන්දු යවන අභිනාශ් මේ වෙද්දී පළමු පෙළ තරග 7ක කඩුලු 20ක් සහ එක්දින තරග 11ක කඩුලු 23ක් සතු කර ගෙන තිබුණ ද එකඳු හෝ විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර නැහැ.  

චමත් ගෝමස් 

19 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණයේ සිටින චමත් ගෝමස් B-Love Kandy කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් තෝරා ගන්නේ ඩොලර් 5 000ක මුදලක වටිනාකමක් ලබා දෙමින්.  

කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි චමත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කළ අතර මේ වන විට Ragama ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පළමු පෙළ පිටියේ දක්ෂතා දක්වමින් සිටිනවා. 

අරුල් ප්‍රගාසම් 

30 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන අරුල් ප්‍රගාසම් Jaffna Kings කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් මිල දී ගන්නේ ඩොලර් 5 000ක මුදලකට. කොළඹ හින්දු විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස මේ වන විට BRC කණ්ඩායම හා එක් ව ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වමින් සිටින ඔහු මේ දක්වා පළමු පෙළ තරග 3කට සහ විස්සයි විස්ස තරග 8කට සහභාගී වි සිටිනවා.  

Lanka Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<