2018 බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තරගාවලියට SLC ආධාර

225
SLC

2018 වසරේ බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

බිහිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ නිලධාරීහු ඊයේ (31) ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මුණගැසී තරගාවලිය සංවිධානය කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කළහ. ක්‍රිකට් සභාපතිතුමා ඊට තම ආශිර්වාදයත් තරගාවලිය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව හා එය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳවත් උපදෙස් ද ඔවුන්ට ලබා දුන්නේ ය.

වයඹ සුලෝහිත සංග්‍රාමය අද පන්නල දී

වයඹ පළාතේ පැරණිතම පාසල් දෙකක් වන පන්නල ජාතික පාසල සහ හලාවත ආනන්ද විද්‍යාලය අතර ප්‍රථම වරට පවත්වනු ලබන සීමිත පන්දුවාර….

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමේ ක්‍රීඩාංගණ පුහුණුවටත් ඒවායේ පහසුකම් පරිහරණයටත් මොවුන්ට ලබා දෙන මෙන් ක්‍රිකට් සභාපතිතුමා අදාළ නිලධාරීන්ට මේ අවස්ථාවේ දී ම උපදෙස් ලබා දුන්නේ ය.

සාකච්ඡාවේ මූලික වටයේ දී තීරණය කෙරුණේ 2018 මැයි – අගෝස්තු මාසවල දී මොරටුව කෝල්ට්ස් සහ බී. ආර්. සී. ක්‍රීඩාංගණ වල මූලික තරග පවත්වා අවසාන තරගය එස්. එස්. සී. පිටියේ දී පැවැත්විය යුතුය යන්නය.  තරගාවලියට පෙර ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රීඩකයන්ට එහි දී පුහුණුව ලබා දීමට පියවර ගන්නා මෙන් ක්‍රීඩාංගණ භාර නිලධාරී ගොඩ්ෆ්‍රී දාබරේටත් පළාත් සංගම් භාර නිලධාරි කමල් ධර්මසිරිටත් ක්‍රිකට් සභාපතිතුමා එහි දී උපදෙස් ලබා දුන්නේ ය.

ශ්‍රී ලංකා බිහිරි ක්‍රීඩකයන්ගේ කණ්ඩායම ඉන්දියාවේ පැවති ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරයන් වූ අතර, තාරක සම්පත් ලංකා කණ්ඩායම් නායකත්වය දැරීය.  ශ්‍රී ලංකාව මූලික වටයේ දී නේපාලය හා බංග්ලාදේශය පරාජය කළ අතර, අවසාන තරගයේ දී ඉන්දියාවට පරාජය විය. මේ සංචාරය සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් “ඒඩ්” වැඩසටහනින් ලක්ෂ දහයක මුදල් ආධාරයක් පිරිනැමීය. ඉදිරි ලෝක කුසලාන තරගාවලියටත් ක්‍රිකට් ඒඩ් වැඩසටහනෙන් මුදල් ලබා දෙන බව මෙහි දී ක්‍රිකට් සභාපතිතුමා පැවසීය.

මොවුන්ට කතාබහ කිරීමේ යම් අඩුපාඩු තිබුනත් ඔවුන් අප සමාජයේ ජීවත්වන අප හා සමාන සහෝදර සාමාජිකයන් පිරිසකි.  කතාබහ කිරීමට අපහසු වුවත් ඔවුන් තම අදහස් පළ කිරීමට ඉමහත් වෙහෙසක් අතින් හා ඉරියව් මගින් පෙන්වීමට උත්සාහ දරයි.  මෙය සමාජයේ අනෙක් අයටත් හොඳ පාඩමක් යැයි ද ක්‍රිකට් සභාපතිතුමා මෙහි දී ප්‍රකාශ කළේ ය.

බිහිරි ක්‍රිකට් ක්‍රීඩක සංගමයේ සභාපති මොහමඩ් නයිසර් සම සභාපතිනිය අනුලා රංජනී ලේකම් හේමජිත් වජිරකුමාර පුහුණුකරු ෆ්ලෙවින් අපොන්සු හා බිහිරි ක්‍රිකට් ක්‍රීඩක කණ්ඩායම ද මේ අවස්ථාවට සහභාගී වූහ.

– බන්දුල මොල්ලිගොඩ –

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට