මුම්බායි තරුව ගැන ප්‍රබල අනාවැකියක්

339

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නවක ක්‍රීඩකයෙකු මෙම වසර අවසන් වීමට පෙර ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇතැයි ආකාශ් චොප්රා අනාවැකි පලකර තිබේ. ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩක ආකාශ් චොප්රා මෙලෙස අදහස් පලකර ඇත්තේ මුම්බායි කණ්ඩායමේ නැගී එන ක්‍රීඩක සූර්යකුමාර් යාදෙව් පිළිබඳවය.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ දක්වා පැවති තරග අතරින් පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. එම කණ්ඩායම සහභාගී වූ තරග 7න් 5ක් ම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පුරා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සිය දක්ෂතා උපරිමයෙන් දැක්වීමට සූර්යකුමාර් යාදෙව් සමත් විය. අවසන් වරට පැවති මුම්බායි ඉන්දියන්ස් හා දිල්ලි කැපිටල්ස් අතර තරගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඔහු පන්දු 32ක් තුල ලකුණු 53ක් වාර්තා කළේය. එම තරගය පැවති තණතීරුව පිතිකරුවන්ට එතරම් වාසිදායක තණතීරුවක් නොවූවද සිය දක්ෂතා ඉහල මට්ටමක රඳවා ගැනීමට යාදෙව් සමත් විය. එම ඉනිම බොහෝ විස්තර විචාරකයන්ගේ හා ක්‍රිකට් විචාරකයන්ගේ පැසසුමට ලක්විය. 

ආකාශ් චොප්රා ද සිය අනාවැකිය පිළිබඳව අදහස් දක්වා ඇත්තේ එම ඉනිමෙන් අනතුරුවය.

මෙවර තරගාවලිය තුල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට ද සූර්යකුමාර් යාදෙව් සමත්ව සිටී. ඔහු ක්‍රීඩා කළ තරග 7 තුල දී ලකුණු 233ක් වාර්තා කර තිබේ. එයට අර්ධ ශතක දෙකක් ද ඇතුළත් වේ. 

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ එක් අර්ධයක් නිමාවී ඇත. සූර්යකුමාර් යාදෙව් පිළිබඳව අදහස් දක්වමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පවසා ඇත්තේ මුල් අර්ධයේ දී යාදෙව් දැක්වූ දක්ෂතා දෙවන අර්ධයේ දී ද දක්වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවයි.

තවත් ක්‍රිකට් පුවත්: 

සූර්යකුමාර් යාදෙව් සුවිශේෂී ක්‍රීඩකයෙකු බවට හඳුන්වමින් ආකාශ් චොප්රා පවසා සිටියේ ඔහු 2020 වසර අවසන් වීමට පෙර ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇති බවයි.

“මට දැනුණ දෙයක් තමයි මුම්බායි ඉන්දියන්ස් හා දිල්ලි කැපිටල්ස් අතර තරගයේ දී මේ සූර්යකුමාර් යාදෙව් ක්‍රීඩා කරපු ඉනිම තමයි තරගය වෙනස් කළේ. ඔහුගේ ක්‍රීඩා රටාව ඉතාමත් සුවිශේෂී එකක්. Cover කලාපයෙන් පහරක් එල්ල කළත්, flick පහරක් එල්ල කළත්, වෙනත් ඕනෑම පහරක් එල්ල කළත්, ඒ පහර තුල විශේෂ දක්ෂතාවයක් අපිට දකින්න ලැබුණා. ඒක ඔහුටම ආවේණික දෙයක්” සිය නිල YouTube නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ආකාශ් චොප්රා පවසා තිබුණි.

“මුම්බායි ඉන්දියන්ස් ඉනිමේ කේක් එකේ අයිසින් දැම්මේ සූර්යකුමාර් යාදෙව්. ඒ අයිසින් වලට උඩින් තිබුණ චෙරි ගෙඩිය තමයි ඔහු කගීසෝ රබාඩාට එල්ල කළ flick පහර. ඒක හයේ පහරක්. මම ඒ තරගය බලමින් හිටියේ. මගේ ඇස් අදහාගන්න බැරි වුනා ඒ පහර දැකලා. ඇත්තටම ඒක හිතාගන්න බැරි පහරක්. මම කියනවා මේ ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ඕනේ.”

“මම අනාවැකියක් කියන්නේ. 2020 වසර අවසන් වෙන්න කලින් ඔහු ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙක් වේවි. මට හිතෙනවා ඔහු ඉන්දියාව වෙනුවෙන් තරග වලට ක්‍රීඩා කරාවි.  මම මගේ හදවතින්ම මේ කතා කරන්නේ. මම බලාපොරොත්තු වෙනවා ඒක වේවි කියලා” ආකාශ් චොප්රා තවදුරටත් පවසා සිටියේය.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 28ක් ක්‍රීඩා කර ඇති අතර සෑම කණ්ඩායමක්ම තරග 7 බැගින් ක්‍රීඩා කර තිබේ. 

මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉන් තරග 5 බැගින් ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් පිළිවෙළින් ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමිකරගෙන ඇත. 

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග 4ක් ජයග්‍රහණය කරමින් සිව්වැනි ස්ථානයට පත්ව ඇති අතර පස්වැනි ස්ථානය හිමිව ඇත්තේ තරග 3ක් ජයග්‍රහණය කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටයි.

රාජස්ථාන් රෝයල්ස් ද තරග 3ක් ජයග්‍රහණය කර ඇති අතර ඔවුන්ට ලකුණු සටහනේ හයවැනි ස්ථානය හිමිව ඇත. මෙවර තරගාවලියේ එතරම් සාර්ථක නොවූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථාන දෙක හිමිකරගෙන ඇත්තේ පිළිවෙළින් තරග දෙකක් හා එක් තරගයක් ජයග්‍රහණය කරමිනි.

මුම්බායි ඉන්දියන්ස් එළඹෙන සිකුරාදා (16) කොල්කටා නයිට් රයිඩර්ස් සමඟින් අබුඩාබි ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<