දෙවසරකට පසු රාජකීය-සාන්ත තෝමස් ක්‍රිකට් සටන ප්‍රේක්ෂකයන්ට විවර වෙයි

රාජකීය-සාන්ත තෝමස් 144 වැනි නිල් මහා සටන

157

මෙරට ප්‍රසිද්ධ ඉසව් සඳහා බලපැවැත්වූ COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමා ඉවත් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත මහා ක්‍රිකට් සංග්‍රාමය වන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත  තෝමස් විදුහල අතර, දිවංගත ගරු ඩී. එස්. සේනානායක අනුස්මරණ පලිහ වෙනුවෙන්, අඛණ්ඩව 144 වැනි වරට පැවැත්වෙන නිල් මහා සටන මාර්තු 16 සිට 18 වැනිදා දක්වා කොළඹ 07, SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම මෙම සුවිශේෂී තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වන 18 වැනි අවස්ථාව මෙයයි.

ගෝලීය කොරෝනා වසංගත තත්වය හේතුවෙන්, ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සලකා බලා, ඉකුත් දෙවසරක කාලය තුළ නිල් මහා සටන ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව සංවිධානය වුවත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමා ලිහිල් වීමත් සමඟ, රාජකීය- සාන්ත තෝමස් ඒකාබද්ධ තරග සංවිධාන කමිටුව විසින් දෙවිදුහලේ ප්‍රධානීන්ගේ උපදෙස් මත දෙවිදුහල් සිසුන්, ආදි සිසුන් සහ ක්‍රීඩාලෝලීන් ද සමඟින් පූර්ණ ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව මෙවර සංග්‍රාමය පැවැත්වීමට තීරණය කර ඇත.

144 වැනි නිල් මහා සටන සුපුරුදු පිරිදි Dialog Television නාලිකා අංක 22, ThePapare.com සහ Dialog ‘Viu’ app ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. විදුහල් දෙක අතර  ‘Mustangs කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික එක්දින තරගය නිල් මහා සටනට පසුව එළඹෙන සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයේ දී රැස් කරන සෑම ලකුණකටම රු.1000ක මුදලක් හා බිඳ වැටෙන සෑම කඩුල්ලක් සඳහාම රුපියල් 10,000ක මුදලක් ලබා දීමට Dialog Axiata PLC සමාගම ප්‍රතිඥාවක් ලබා දී ඇත. පසුගිය වසරේ 834,000ක මුදලක් ‘Play for a Cause’ වෙනුවෙන් පිරිනමන ලදි. එම මූල්‍ය ප්‍රදානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිතුමන් සහ සාන්ත තෝමස් විදුහලේ විද්‍යාලාධිපතිතුමන්ගේ උපදෙස් අනුව උපකාර අවශ්‍ය පාසල් සඳහා ලබා දීමට කටයුතු කරන ලදි.

මෙම වසරේ තරගය දී ගල්කිස්ස සාන්ත තෝමස් කණ්ඩායම කඩුලු රකින ක්‍රීඩක රොමේෂ් මෙන්ඩිස් විසින් මෙහෙයවද්දී, තුන් ඉරියව් ක්‍රීඩක දාසිස් මංචනායක කොළඹ රාජකීය කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.

රාජකීය-සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය වසර 143ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයකට හිමිකම් කියයි. එය ලොව දෙවැනි දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවති ක්‍රිකට් තරගාවලිය වන අතර එය දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී St. Peters විදුහල හා Prince Alfred විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයට පමණි. එය ඇරඹී ඇත්තේ රාජකීය-සාන්ත තෝමස් තරගය ඇරඹීමට වසරකට මත්තෙනි.

1882 දී එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළුබඳුන කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙන්නේ රාජකීය-සාන්ත තෝමස් වාර්ෂික මහ තරග ඇරඹුමෙන් දෙවසරකට පසුය.

ක්‍රීඩකයන් පමණක් සහභාගි වූ ‘නිල් මහා සටනේ’ පළමු තරගය 1880 වසරේ දී ගාලු මුවදොර පිටියේ දී පැවැත්විය. එය මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය පිහිටි ස්ථානයයි. එය සියවස් තරගාවලියේ ආරම්භය ද සනිටුහන් කරන ලදි. මෙම තරගයට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් දෙකටම බෝට්ටු යොදාගෙන බේරේ වැව තරණය කිරීමට සිදු වූ බව ද වාර්තා වේ.

රාජකීය-සාන්ත තෝමස් මහා තරගයේ දී බිහි වූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පසුකලෙක මේ රට පාලනය කිරීමට වරම් ලැබූවෝ ද වූහ .ජාතියේ පියා යන විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමන් (1901-1902), ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමන් (1927-1929) යන හිටපු අගමැතිවරුන් සාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින් ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමන් (1925) රාජකීය විදුහල නියෝජනය කරමින් අදාළ වසරවල දී මෙම ඓතිහාසික මහා සටනට ක්‍රීඩා කළහ.

මහත් විවාදයකට ලක්වූ 1885 තරගය සමඟින් නිල් මහා සටන් ඉතිහාසයේ මේ දක්වා කණ්ඩායම් දෙකම ජයග්‍රහණ 35 බැගින් වාර්තා කර ඇත. පළමු දිනයේ රාජකීය විදුහල ලකුණු 09කට සියලු දෙනා දැවීගොස්, දෙවැනි දිනයේ  ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අදාළ 1885 තරගය තමන් ජය ගත් තරගයක් ලෙසින් සාන්ත තෝමස් විදුහලේ සමරු අතර සටහන් වෙද්දී, එය ජය පැරදුමෙන් තොර තරගයක් ලෙස රාජකීය විදුහලේ සමරු සටහන්වල දැක්වේ.

Photos – Royal College vs S. Thomas’ College | 144th Battle of the Blues | Sponsorship Exchange Event

අවසන් වරට නිල් මහා සටනක් ජය ගනිමින් මේ වන විට අදාළ කුසලාන සාන්ත තෝමස් විදුහල සතුව පවතින අතර, වර්ෂ 2019 දී සිතාර හපුහින්නගේ නායකත්වයෙන් සුපිරි දස්කම් දක්වමින් සාන්ත තෝමස් කණ්ඩායම හිමිකර ගත් එම කුසලාන තමන් සන්තකයට ගැනීම පිණිස, රාජකීය කණ්ඩායම සැරසී සිටියි. රාජකීය කණ්ඩායම අවසන් වරට නිල් මහා සටනක් ජයගෙන ඇත්තේ ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ 2016 වසරේ දී ය.

විශිෂ්ටත්වයෙන් ඉහළම සම්ප්‍රදායකට අනුව පැවැත්වෙන මෙම තරගයේ දී දෙවිදුහල් අතර අන්‍යෝන්‍ය ගෞරවය, සුහදත්වය, ක්‍රීඩාශීලීත්වය, පිටියේ මෙන්ම පිටියෙන් එපිට මිත්‍රශීලී ප්‍රතිවාදීන් ලෙසින් වූ බැඳීමක් සියවස් එකහමාරකට අධික කාලයක සිට පැවත එයි. වරක්, රාජකීය විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් පැවසූ පරිදි ‘සාන්ත  තෝමස් විදුහලක් නොමැතිව රාජකීය විදුහලක් නොමැත, රාජකීය විදුහලක් නොමැතිව සාන්ත  තෝමස් විදුහලක් නොමැත’ යන ප්‍රකාශයෙන් එය මනාව පිළිබිඹු වෙයි.

Dialog Axiata ජාතික ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම් හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල්පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<