Rohitගේ ඔටුන්න ඉක්මනින් ම ගැලවෙන ලකුණු!

4897

වත්මන් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායක Rohit Sharma හට සිය නායකත්වය අහිමි වී යාමේ අවදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය මගින් හෙළිදරව් කරනවා.

නිමා වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලද පරාජයෙන් පසුව ඉන්දීය නායක Rohit Sharmaගේ ටෙස්ට් නායකත්වය සහ ඔහුගේ අනාගතය පිළිබඳ තරමක කතාබහක් නිර්මාණය වුනා.

“රෝහිත් නායකත්වයෙන් ඉවත් කිරීම පිළිබඳ පදනම් විරහිත කටකතා පැතිරෙනවා.

කොහොම වෙතත් ඔහු ඉදිරි වසර දෙකක කාලය පුරා මීළඟ ටෙස්ට් ලෝක ශූරතාව වෙනුවෙන් ඉන්දියාව මෙහෙයවයි ද කියන එක නම් ගැට‍ළුවක්. මොකද මීළඟ තරග වාරය නිමා වන 2025 වසර වෙද්දී ඔහුට වයස අවුරුදු 38ක් වේවි.”

ජ්‍යෙෂ්ඨ BCCI නියෝජිතයෙකු විසින් ඉන්දීය පුවත් සේවයක් වන PTI වෙත අදහස් පළ කරමින් මේ බව ප්‍රකාශ කර තිබුණා.

වහාම ක්‍රියාත්මක වන පරිදි Rohitගේ ඔටුනු නොගැලවුණත්, එළඹෙන ඉන්දු – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ දී Rohit විසින් දක්ෂතා දැක්වීම මත ඔහුගේ අනාගතය තීරණය වීමට ඉඩ ඇති බවයි එම නියෝජිතයා වැඩිදුරටත් ඉඟි කර ඇත්තේ.

“බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව අපට මේ වසරේ දෙසැම්බර් අග වන තෙක් ටෙස්ට් තරග නැහැ. ඒ නිසා තේරීම් කමිටුවට සිතා බලා තීරණයක් ගන්න ප්‍රමාණවත් කාලයක් ලැබේවී.”

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය තුල දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ඉහත ප්‍රකාශය නිසා මෙම තරග ද්විත්වය Rohit Sharmaගේ අනාගතය පිළිබඳ නිශ්චිත තීරණයක් ලබා දෙනු ඇතැයි අපට අනුමාන කළ හැකි.

2022 වසරේ ඉන්දීය ටෙස්ට් නායකත්වයට පත් වූ Rohit විසින් එතැන් පටන් ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇත්තේ ටෙස්ට් තරග 7ක දී පමණයි. මෙම තරග 7දී ඉනිම 11ක් ක්‍රීඩා කර ඇති ඔහු පිතිකරණ සාමාන්‍ය 35.45ක රඳවා තබා ගනිමින් ලබා ගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 390ක් පමණයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<