ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයෙන් ලකුණු 99ක ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වුණා.
Multan ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 239ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 140ක් පමණයි.
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
ස්ටෙවෝන් පීරිස් (නායක සහ කඩුලු රකින්නා), මෙතුක ගුණරත්න, යෙනුල හේවාවිතාරණ, රෙශෝන් සොලමන්ස්, සඳරු මල්ශාන්, තිසඟ පෙරේරා, සශිත් බණ්ඩාර, අදීශ ලක්ශාන්, මහිරු කොඩිතුවක්කු, චෙනුක දොඩංගොඩ සහ තාරුක සමන්ජිත්.
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
Azan Ahmed (නායක), Sudais Ahmed, Daud Tauqeer Rana, Mohammad Yousaf, Sher Wali Khan, Hamid Raza, Arsalan Hassan (කඩුලු රකින්නා), Mohammad Saim, Mohammad Ihsaan, Abdullah Ahmed Butt සහ Fahad Iqbal.
- 17න් පහළ තුන් දින තරගය විසඳුමක් නෑ
- නාලන්දා විද්යාලයට කඩුලු 9ක ජයක්
- සංජනා පාකිස්තානයටත් සැරට තලයි
- Tier B T20 පිටියේ පෑ දස්කම් විස්කම්
- දුල්සත් සහ ටෙනුෂ දවස වර්ණවත් කරයි
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ මෙතුක ගුණරත්න සහ යෙනුල හේවාවිතාරණ තම කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 112ක දීලකුණු 88ක සබඳතාවක් එක් කරනවා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ යෙනුල හේවාවිතාරණ දුවද්දී දැවී යෑමකට ගොදුරු වීමෙනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව කඩුල්ලේ දී ද ශ්රී ලංකා ඉනිමට ලකුණු 67ක සබඳතාවක් එකතු වෙනවා. එහි දී පෙරමුණ ගන්නේ මෙතුක ගුණරත්න සහ රෙශෝන් සොලමන්ස්.
තමන් මුහුණ දුන් 70 වැනි පන්දුවේ දී මෙම තරගාවලියේ පළමු අර්ධ ශතකය ලබා ගන්නා මෙතුක ගුණරත්න ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියා.
රෙශොන් සොලමන්ස් ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා. ඔහු දැවී යද්දී සඳරු මල්ශාන් හා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 25ක සබඳතාවක් ද එක් කර තිබූ අතර ඒ වෙද්දී ශ්රී ලංකා ඉනිම ලකුණු 180ක් ව තිබුණා.
ඉන් අනතුරු ව කඩුලු ද්විත්වයේ දී ශ්රී ලංකා ඉනිමට එක් වෙන්නේ ලකුණු 12ක් පමණයි. එහි දී සඳරු මල්ශාන් පන්දු 33ක දී ලකුණු 20ක් ලබා සිටිය දී ද සහ තිසඟ පෙරේරා පන්දු 9ක දී ලකුණු 2ක් ලබා සිටිය දී ද දැවී යනවා.
නායක ස්ටෙවෝන් පීරිස් ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි. ඔහු ඊට පන්දු 21ක් වැය කළා.
ශ්රී ලංකා ඉනිම අවසන් වෙද්දී සශිත් බණ්ඩාර පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද සහ අදීශ ලක්ෂාන් පන්දු 7ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 12ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවූ Mohammad Ihsaan ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Fahad Iqbal කඩුලු ද්විත්වයක් ලබා ගන්නවා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 48ක් තුළ දවා ගැනීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත් වූවත් ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 65ක දී ලකුණු 38ක් එක් කරමින් පාකිස්තාන ඉනිමට සැනසිලිදායක ලකුණු පුවරුවක් එක් කිරීමට Hamid Raza සහ Arsalan Hassan සමත් වෙනවා.
Arsalan Hassan පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 17කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
Hamid Raza ඉනිමේ 7 වැනි කඩුල්ලට දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් දැවී යද්දී පන්දු 57කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පසු පෙළින් පිටියට පිවිසි Mohammad Saim. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු Daud Tauqeer Rana පන්දු 26ක දී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.
පාකිස්තාන ඉනිමේ තවත් පන්දු 66ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී යද්දී, සඳරු මල්ශාන් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව තිසඟ පෙරේරා ලකුණු 19කට කඩුලු 2ක් ද, සශිත් බණ්ඩාර, මහිරු කොඩිතුවක්කු සහ තාරුක සමන්ජිත් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 239 (50.0) මෙතුක ගුණරත්න 77, යෙනුල හේවාවිතාරණ 36, රෙශෝන් සොලමන්ස් 42, සඳරු මල්ශාන් 20, සශිත් බණ්ඩාර නොදැවී 21, Mohammad Ihsaan 3/43, Fahad Iqbal 2/49
පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 140 (39.0) Daud Tauqeer Rana 26, Hamid Raza 28, Mohammad Saim 30, සඳරු මල්ශාන් 3/16, තිසඟ පෙරේරා 19/2
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 99ක ජයක්.
- තරගයේ වීරයා – මෙතුක ගුණරත්න (ශ්රී ලංකාව)
දෙරට අතර පැවැත්වෙන එක්දින 2 වැනි තරගය මේ මස 17 වැනිදා Multan හි දී ම පැවැත් වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















