ගිය හකුරට නාඬන්නේ, තියෙන හකුර රැක ගන්නේ

WTC Final 2023

1338
​Ganguly says winning ipl is more difficult than winning world cup

ඉන්දියාවට මෙවර ටෙස්ට් ලෝක ශූරතාව අහිමි වීමෙන් පසු හිටපු BCCI සභාපති Saurav Ganguly විසින් මාධ්‍ය හමුවේ තරමක් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබෙනවා.

පසුගිය ඉරිදා (11) ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 209ක අතිදැවැන්ත පරාජයක් උරුම කර ගනිමින් දෙවැනි වරටත් ටෙස්ට් ලෝක අනුශූරයින් බවට පත් වීමට සිදු වූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මේ වන විට බොහෝ විවේචන වලට බඳුන් වෙමින් සිටිනවා.

ඒ අතරින් බොහෝ දෙනෙකු විසින් වත්මන් නායක Rohit Sharmaගේ නායකත්වය විවේචනය කරන අතර, ඒ බොහෝ විවේචන නිමා වන්නේ හිටපු ඉන්දීය නායකයින් දෙදෙනකු වන MS Dhoni සහ Virat Kohliගේ නම් ද ඈඳා ගනිමිනුයි.

මේ අතර හිටපු BCCI සභාපති Saurav Gangulyව ද මෙම සංවාදයට ඈඳා ගැනීමට ඉන්දීය රූපවාහිනී නාලිකාවක් විසින් සමත් වුනා.

හිටපු ඉන්දීය නායක Virat Kohli සහ Kohli ඉන්දීය කණ්ඩායමට නායකත්වය සපයන කාලයේ BCCI සභාපති ධුරයේ වගකීම් දැරූ Saurav Ganguly අතර සීතල යුද්ධයක් තිබූ බව ප්‍රසිද්ධ රහසක්. එමෙන්ම 2021 වසර අග භාගයේ Kohli විසින් සිය විස්සයි විස්ස නායකත්වයට සමුදීමට තීරණය කළ අතර පසුව ඔහු ටෙස්ට් නායකත්වයෙන් ද ඉවත් වීමට තීරණය කළා.

Kohliගේ මෙම හදිසි සමුගැනීම එවකට මෙන් ම අදටත් ඉන්දීය ක්‍රිකට් වල උණුසුම් පුවතක් ලෙස මාධ්‍ය මගින් හුවා දක්වන අතර ඒ බොහෝ අවස්ථා වල Saurav Gangulyගේ නම ද ඒ ප්‍රවෘත්ති වල සඳහන් වීම සාමාන්‍ය කාරණයක්.

Kohli නායකත්වයට සමුදීම පිළිබඳ තමන් ඊට පෙර දැනුවත් ව නොසිටි බව සැල කරන Ganguly පවසන්නේ Kohliගේ ඉවත් වීමෙන් වූ පුරප්පාඩුව පිරවීමට Rohitව යොදා ගැනීමට සිදු වූ බවයි. එමෙන්ම Rohit විසින් සිය වගකීම හොඳින් ඉටු කරන බව ද Ganguly අවධාරණය කරනවා.

“Virat Kohli ටෙස්ට් නායකත්වයට සමුදීම වෙනුවෙන් BCCI සූදානම් වෙලා හිටියේ නැහැ. දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව ඔහු ගත්ත තීරණය අපි බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි. ඔහු නායකත්වයට සමුදීමේ හේතුව හෙළිදරව් කරන්න පුළුවන් Viratට විතරමයි.

දැන් මේක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ, Virat Kohli නායකත්වයට සමුදීලා ඉවරයි. තේරීම් කමිටුවට සිදු වුනා නව නායකයෙක් නම් කරන්න. ඒ වෙලාවේ තිබුණ හොඳම විසඳුම තමයි Rohit Sharma. ඔහු IPL ශූරතා 5ක් ජයග්‍රහණය කරලා තිබුණා.

ඒ වගේ ම ඔහු මේ කාලය තුල කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය තෙක් රැගෙන ආවා.

මට Rohit ගැන විශ්වාසයක් තියෙනවා. ඔහු සහ MS විතරයි IPL ශූරතා පහක් ජයග්‍රහණය කරලා තියෙන්නේ.”

Aaj Tak රූපවාහිනී නාලිකාව සමඟින් එක් වෙමින් Ganguly විසින් අතීත සිදුවීම පිළිබඳ සිය මතය එසේ පවසා සිටියා. එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ලෝක ශූරතාවක් ජයග්‍රහණය කරනවාට වඩා IPL ශූරතාවක් ජයග්‍රහණය කිරීම අසීරු කටයුත්තක් බවයි.

“IPL දිනන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක ගොඩක් අමාරු තරගාවලියක්. IPL ශූරතාවක් ජයග්‍රහණය කිරීම ලෝක කුසලානයක් ජයග්‍රහණය කරනවාට වඩා සෑහෙන්න අමාරුයි.

ඔබ එහි දී තරග 14 ක්‍රීඩා කළ යුතුයි. ඉන්පසුව Play-Off තරග ක්‍රීඩා කළ යුතුයි. තරග 17ක් ජයග්‍රහණය කිරීමෙන් පසුවයි ඔබට ශූරතාව ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ලෝක කුසලානයක තරග 4-5ක් ක්‍රීඩා කිරීමෙන් පසුව ඔබ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා.”

එමෙන්ම එළඹෙන එක්දින ලෝක කුසලානයේ දී Rohit සිය කණ්ඩායම සමඟ ජයග්‍රහණය සොයා යනු ඇති බව ද Ganguly විසින් වැඩිදුරටත් පවසා සිටියා.

“එදා වගේ ම අදත් හොඳ ම විකල්ප Rohit බව මම විශ්වාස කරනවා.”

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

The Indian Express සහ Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<