Ashwin නැතුව කොහොම දිනන්න ද?

WTC Final 2023

2749

නිමා වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියාව හමුවේ ලද දැවැන්ත පරාජය තවමත් ඉන්දීය ක්‍රිකට් රසිකයින්ගේ හිත් වල හොල්මන් කරන බව පෙනෙන්නට තිබෙනවා.

ඔවුන් තවමත් ඉන්දියාව පරාජය වීමට හේතු සොයමින් සිටින අතර, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඉන්දීය වෙබ් අඩවියක් වන Times of India මඟින් ඉන්දියාව විසින් මෙම තරගය පරාජය වීමට හේතු මොනවා ද යන්න පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

මෙහි දී ඔවුන් විසින් ඉන්දීය ක්‍රිකට් රසිකයින් වෙත ගැට‍ලු තුනක් සහ ඒවාට පිළිතුරු ද ලබා දෙමින් සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාවක් සලසා දී තිබුණා.

මෙහි දී ඔවුන් විසින් යොමු කළ ගැට‍ලු සහ ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර සැකෙවින් මෙසේයි.

ඉන්දියාව මෙම තරගයේ දී සිදු කළ විශාලතම වැරැද්ද කුමක් ද?

මෙහි දී බොහෝ ඉන්දියානුවන්ගේ මතය වන්නේ දැනට ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා සහ නිමා වූ තරග වාරයේ දී ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභි පන්දු යවන්නා වීමට සමත් වූ Ravichandran Ashwinව මෙම කණ්ඩායමට ඇතුළත් කර නොගැනීම ඉන්දියාව සිදු කළ විශාලතම වරද බවයි.

බොහෝ ඉන්දීය ක්‍රිකට් රසිකයින් මෙන් ම විශේෂඥ විස්තර විචාරකයින් පවා තවමත් Ashwin මෙම තරගය වෙනුවෙන් භාවිත නොකිරීම පිළිබඳ ව ප්‍රශ්න කරමින් සිටීම විශේෂත්වයක්.

මෑත කාලයේ වෙනත් කිසිදු ඉහළ පෙළේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකුට අශ්වින්ට තරම් අශෝභන ලෙස සැලකුවේ නැහැ.

හිටපු ඉන්දීය පිතිකරු Sunil Gavaskar විසින් Ashwinට ලැබෙන මෙම කුඩම්මාගේ සැලකිල්ල පිළිබඳ බොහෝ කනගාටුවෙන් අදහස් දක්වමින් විමසා තිබුණේ පිතිකරුවෙකු ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ රැඳී සිටියා නම් මෙවන් ඉරණමක් අත්වේවි ද යන්නයි.

එමෙන්ම ඊට අමතරව තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු පළමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කිරීම ඉන්දීය නායක Rohit Sharma විසින් ගත් දුර්වල තීරණයක් බවයි තවත් පිරිසක් විසින් විශ්වාස කරන්නේ.

මෙහි දී ඕස්ට්‍රේලියාව විසින් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් තරගයේ පළමු දිනයේ ම ලෝක ශූරතාව දිනා ගැනීමට අවශ්‍ය අඩිතාලම සකසා ගැනීමට සමත් වුනා.

IPL තරගාවලිය නිසා ඉන්දීය ක්‍රීඩකයින් වෙහෙසට පත් වුනා ද?

මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූ බොහෝ ඉන්දීය ක්‍රිකට් රසිකයින් විසින් විශ්වාස කරන්නේ ක්‍රීඩකයින් IPL තරගාවලිය නිසා වෙහෙසට පත් වී සිටි බවයි.

ඔවුන් IPL නිසා තෙහෙට්ටුවට පත් වී සිටියා නම් තවත් වතාවක එවන් ගැට‍ලුවක් ඇති නොවීමට සිදු කළ යුත්තේ කුමක් ද යන ප්‍රශ්නයත් Times of India විසින් රසිකයින් වෙත යොමු කර තිබුණා.

මෙම ගැට‍ලුවට ප්‍රතිචාර දැක්වූ පිරිසක් විසින් IPL තරගාවලිය අවසන් වූ වහාම ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගය නොපැවැත්විය යුතු බවට විශ්වාසය පළ කර තිබූ නමුත් බහුතර රසික ප්‍රජාවක් විසින් සඳහන් කරන්නේ ක්‍රීඩකයින් විසින් ටෙස්ට් ලෝක ශූරතාවක් වැනි විශේෂ සහ විශාල ICC තරගාවලි වෙනුවෙන් IPL තරගාවලියේ කොටසක් අත්හැරීමට සූදානම් විය යුතු බවයි.

ක්‍රීඩකයින් IPL තරගාවලියට පෙර සිය රට වෙනුවෙන් අංක 1 ලබා දී ක්‍රීඩා කළ යුතු බවට බොහෝ ක්‍රිකට් රසිකයන් විශ්වාස කළත්, එය කවදා හෝ ඒ අයුරින් ඉටු වේවි දැයි Times of India වෙබ් අඩවිය මෙම ගැට‍ලු සහ ඒ වෙනුවෙන් ලද ප්‍රතිචාර විශ්ලේෂණය කිරීමෙන් පසු ප්‍රශ්න කරනවා!

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<