මුරලි හා සම වී හේරත් අබිබවා යාමට Lyon සමත් වෙයි!

Australia Tour of New Zealand 2024

156

නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර නවසීලන්තයේ වෙලිංග්ටන් හිදි පැවැත්වුණු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Nathan Lyon විසින් මුත්තයියා මුරලිදරන් සහ Shane Warne  පමණක් සතුව තිබූ විශේෂ වාර්තාවක් සම කිරීමට සමත් වුනා. 

පසුගිය පෙබරවාරි 29 වැනි දා ආරම්භ වූ මෙම ටෙස්ට් තරගය අද (03) උදෑසන නිමා වුනේ ඕස්ට්‍රේලියාවට ලකුණු 172ක දැවැන්ත ජයක් උරුම කර දෙමිනුයි. 

මෙහි දී තරගයේ පළමු ඉනිම සඳහා ඕස්ට්‍රේලියාව විසින් ලකුණු 383ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඕස්ට්‍රේලියානු ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Cameron Green ලකුණු 174ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම සඳහා නවසීලන්තයෙන් පිළිතුරු ලෙස වාර්තා වුනේ ලකුණු 179ක් පමණක් වන අතර, එහි දී Glenn Phillipsගේ පිත්තෙන් ඉක්මන් ලකුණු 71ක් වාර්තා වුනා. මේ අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Nathan Lyon කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ඒ අනුව නැවත පිතිකරණයට පිවිසි ඕස්ට්‍රේලියානුවන් සිය දෙවන ඉනිම සඳහා ලබා ගත්තේ ලකුණු 164ක් පමණයි. මෙහි දී නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Glenn Phillips ලකුණු 45කට කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා. 

තරගයේ සිව් වන ඉනිමේ දී නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 369ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ නමුත් දඟපන්දුව වඩා වාසි සහගත වූ වෙලිංග්ටන් තණතීරුවේ නවසීලන්ත දෙවන ඉනිම ලකුණු 196කට සීමා වුනා.  

මෙහි දී නැවතත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Nathan Lyon විසින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනේ සමස්ත තරගයේ කඩුලු 10ක් සිය කඩුලු මල්ලට එක් කර ගනිමිනුයි. 

මේත් සමඟම 2006 වසරේ දී වෙලිංග්ටන් හිදී ම ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වුණු ටෙස්ට් තරගයක දී මුත්තයියා මුරලිදරන් විසින් නවසීලන්තයට එරෙහිව තරගයේ ඉනිම් දෙකේ දී කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වීමෙන් පසුව නැවතත් එවැනි දස්කමක් නවසීලන්තයේ දී සිදු කිරීමට සමත් වූ පළමු දඟපන්දු යවන්නා බවට පත් වීමට Nathan Lyonට හැකියාව ලැබුණා. 

2006 ටෙස්ට් තරගයේ දී චාමර සිල්වා විසින් වාර්තා කළ ඉතිහාසගත ලකුණු 152 සහ මුත්තයියා මුරලිදරන් විසින් ලබා ගත් කඩුලු 10 (පළමු ඉනිමේ කඩුලු 4 + දෙවන ඉනිමේ කඩුලු 6) සමඟින් ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව ලකුණු 217ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. දඟපන්දුවට හිත කර වූ එම තරගයේ දී නවසීලන්තය වෙනුවෙන් Daniel Vettori ද ඉනිම් දෙකේ දී කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මීට අමතරව එම 2006 තරගයෙන් පසුව නවසීලන්තයේ දී දඟපන්දු යවන්නන් දෙදෙනෙකු විසින් ටෙස්ට් තරගයක කඩුලු 5 අවස්ථා සම්පූර්ණ කළ පළමු අවස්ථාවත් (Glenn Phillips සහ Nathan Lyon) අද දිනයේ දී වාර්තා වීම තවත් විශේෂත්වයක්.  

මෙම ටෙස්ට් තරගය තවත් විශේෂ වාර්තා කිහිපයක් ම පිහිට වූ අතර ඒවා මෙසේයි, 

  • මෙය ඕස්ට්‍රේලියාව නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දී නොකඩවා ලද හය වැනි ටෙස්ට් ජයග්‍රහණයයි. එමෙන්ම 2000 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාව නවසීලන්තයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරග 11න් 10ක් ම ජයග්‍රහණය කිරීමට ද සමත් වී තිබෙනවා. 
  • එමෙන්ම මෙම ජයත් සමඟි දෙරට අතර පැවැත්වෙන මෙම Trans – Tasman කුසලානය නොකඩවා 12 වැනි වරටත් තමන් සන්තකයේ තබා ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා. 
  • අවසන් වසර 25ක කාලය තුළ නවසීලන්තය විසින් ටෙස්ට් තරගයක ඉනිම් දෙකේ ම ලකුණු 200ට අඩුවෙන් දැවී ගිය දෙවැනි අවස්ථාව ද මෙම ටෙස්ට් තරගයේ දී වාර්තා වුනා. 
  • මුත්තයියා මුරලිදරන් සහ Shane Warne හැරුණු කොට ටෙස්ට් තරගවල දී සත්කාරක රටවල් 09කට එරෙහිව ඉනිමක කඩුලු 5 දස්කම් දැක් වූ ලොව එකම පන්දු යවන්නා බවට පත් වීමට ද Lyonට අද හැකියාව ලැබුණා. 
  • එමෙන්ම මෙම පන්දු යැවීමත් සමඟින් Lyon විසින් ටෙස්ට් තරගයක සිව් වැනි ඉනිම්වල කඩුලු 119ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, ඔහු දෙවැනි වන්නේ Shane Warne(138) පමණයි. එමෙන්ම අද ඔහු මෙම කඩුලු 6 දස්කම දැක්වීමත් සමඟින් මෙතෙක් කල් එහි දෙවැනි තැන රැඳී සිටි රංගන හේරත්ව (115) අබිබවා යෑමට ද සමත් වුනා. 
  • එමෙන්ම Lyon විසින් සිව් වැනි ඉනිමේ දැක්වූ 6/65 දක්ෂතාව ඕස්ට්‍රේලියානුවකු නවසීලන්තයේ දී සිව් වැනි ඉනිමක දැක්වූ හොඳම පන්දු යැවීම ලෙස ද සටහන් වුනා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<