ආරබියේ සිට බංග්ලාදේශයට පය තැබූ දසුන්ගෙන් නැවතත් දස්කම්

Bangladesh Premier League 2023

521
Dasun Shanaka

මේ දිනවල පැවැත්වෙන Bangladesh Premier League තරගාවලියේ අවසන් වටයේ තරග අදින් (12) ආරම්භ වූ අතර එහි පළමු තරගය ලෙස Fortune Barishal සහ Rangpur Riders කණ්ඩායම් අතර Eliminator තරගය පැවැත්වුණා.

එම තරගයෙන් Barishal කණ්ඩායම කඩුලු 4කින් පරාජය කළ Riders හෙට දිනයේ පැවැත්වීමට නියමිත Qualifier 2 තරගයට සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තා.

මීට පෙර ILT20 තරගාවලියේ Dubai Capitals නියෝජනය කරමින් සිටි ශ්‍රී ලංකා නායක දසුන් ශානක, භානුක රාජපක්ෂ සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් ද Capitals කණ්ඩායම ILT20 තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව BPL තරගාවලිය සමඟ එකතු වුනා.

ඒ අනුව අද පැවැත්වුණු තරගයේ දී Riders නියෝජනය කරමින් දසුන් ශානක සහ Barishal කණ්ඩායම නියෝජනය කරමින් භානුක රාජපක්ෂ තරගයට සහභාගී වුනා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Barishal කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 170ක් රැස්කර ගැනීමට සමත් වුනා.

එහි දී Barishal ඉනිමේ මුල් පන්දුවාර 13 අවසන් වන විට ඔවුන් එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 114ක් ලබා ප්‍රබල මට්ටමක සිටි අතර, තරගයේ 14 වැනි පන්දුවාරය යැවීමට පන්දුව අතට ගත් දසුන් ශානක තරගයේ වාසිය නැවත Riders වෙත හරවන පන්දු වාරයක් ක්‍රියාත්මක කළේ එම පන්දුවාරය තුල ලකුණු 5කට එක් කඩුල්ලක් බිඳ හෙළමිනුයි. එතැනින් නතර නොවූ දසුන් තරගයේ පන්දුවාර තුනක් ක්‍රියාත්මක කරමින් ලකුණු 23කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

Barishal වෙනුවෙන් Mehidy Hasan Miraz ලකුණු 69ක් සහ Mahmudullah විසින් ලකුණු 34ක් ලබා ගත්තා.

ඉනිමේ අවසන් භාගයේ දී පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 10කින් නො දැවී ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ Riders කණ්ඩායමේ Shamim Hossain විසින් ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වූ අතර, පසුව තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය දසුන් නොදැවී ලකුණු 15ක් සහ Mehedi Hasan නොදැවී ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව පන්දුවාර 19 පන්දු 3ක් තුල දී කඩුලු 6ක් දැවී ලකුණු 172ක් රැස් කළ Rangpur Riders කණ්ඩායම කඩුලු 4කින් තරගය ජයග්‍රහණය කළා.

මේ අනුව BPL තරගාවලියේ අද පැවැත්වෙන අනෙක් තරගය (Qualifier 1) තරගය පරාජය වන කණ්ඩායම සමඟ හෙට Rangpur Riders සමඟ ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගයෙන් ජය ලබනා කණ්ඩායම පෙබරවාරි 16 වැනිදා BPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

BPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<