බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා නිල ටෙස්ට් සංචිතය

448

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (16) නම් කෙරුණා. එයට ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත්. සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්න සතු වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය අතරතුර සිය පෞද්ගලික හේතූන් මත තරගාවලියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශ සංචිතය සඳහා ඇතුළත්ව සිටිනවා. 

පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේරීම් කමිටු ප්‍රධානි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසා සිටියේ කොදෙව් තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයන් කීපදෙනෙකු ආබාධවලට ලක්ව සිටීම නිසා ඔවුන්ගේ යෝග්‍යතාව පිළිබඳව ඇගයීමක් කළ යුතු බවයි. එහි දී නවක ක්‍රීඩක පැතුම් නිස්සංක ද ආබාධයකට ලක්ව සිටින බව වික්‍රමසිංහ මහතා පවසා තිබුණා.

කෙසේ වෙතත් පැතුම් නිස්සංකගේ පාදයේ ආබාධය මේ වන විට සුව වී තිබෙන නිසාවෙන් ඔහු ද මෙම ටෙස්ට් සංචිතය සඳහා ඇතුළත් කර තිබෙනවා.

පසුගිය කොදෙව් ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ දී ආබාධයකට ලක්වූ දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය සංචිතය සඳහා නම් කර නැහැ. ඒ ඔහුට නියමිත කාලය තුල සුවවීමට නොහැකි වීම හේතුවෙන්. ඔහු වෙනුවට 22 හැවිරිදි නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සංචිතය සඳහා කැඳවා තිබෙනවා.

ජයවික්‍රම ශ්‍රී ලංකා සංචිතය සඳහා කැඳවා ඇත්තේ පළමු වතාවට වන අතර ඔහු දේශීය පළමු පෙළ තරග 10කට පමණක් ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්. ඔහුගේ මෙම කෙටි කාලීන පළමු පෙළ තරගාවලිය තුල කඩුලු 40ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සාමාන්‍ය 24.57ක් ලෙස සටහන් කරමින්. 

තවත් ක්‍රිකට් පුවත්:

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලිය තුල තරග 7කට ක්‍රීඩා කරමින් කඩුලු 15ක් දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුනා. ඔහුට ශ්‍රී ලංකා සංචිතයේ අසුනක් හිමි වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද එම තරගාවලිය තුල ඔහු දැක්වූ දක්ෂතායි.

දුෂ්මන්ත චමීර පෞද්ගලික හේතුවක් නිසාවෙන් සංචිතයෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට ලහිරු කුමාර සහ ඩිල්ෂාන් මදුශංක වේගපන්දු යවන්නන් ලෙස සංචිතය සඳහා කැඳවා තිබෙනවා. 

තරගාවලි කීපයක් තුල අසාර්ථක වීම නිසා ටෙස්ට් සංචිතයෙන් විවේක ගැන්වූ කුසල් මෙන්ඩිස් මෙම තරගාවලිය සඳහා ද නම් කර නැහැ.

ශ්‍රී ලංකා නිල ටෙස්ට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, නිරෝශන් දික්වැල්ල, රොශේන් සිල්වා, දසුන් ශානක, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, අසිත ප්‍රනාන්දු. 

තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 12 වැනිදා මෙරටට පැමිණියා. Mominul Haqueගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් 21 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත් වනවා. තරගාවලිය එළඹෙන අප්‍රේල් 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට නම් අවස්ථාව හිමිවන්නේ නැහැ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ තරග කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය
අප්‍රේල් 17-18 පුහුණු තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය 
අප්‍රේල් 21 සිට අප්‍රේල් 25 දක්වා පළමු ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
අප්‍රේල් 29 සිට මැයි 03 දක්වා දෙවන ටෙස්ට් තරගය  පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<