කමිල් මිෂාරගේ සුපිරි දස්කම් මැද NCC කිරුළු පළඳියි

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින තරගාවලිය 2020/21

374

ශ්‍රී ලංකා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවති අවසන් මහා තරගයෙන් රාගම කණ්ඩායම පරදවා ලකුණු 145ක ජයක් ලබා ගැනීමට NCC සමත් වුනා. තරගය පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් NCC කණ්ඩායමේ මුල් කඩුලු ද්විත්වයම ලකුණු 20ක් තුළ දවා ගැනීමට රාගම පන්දු යවන්නන් සමත් වුනා.

එතැන් පටන් පිටියේ එක්වූ යොවුන් ක්‍රීඩක කමිල් මිෂාර සහ කවීන් බණ්ඩාර රාගම පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් ශතක සම්බන්ධතාවයක් ගොඩනගමින් ලකුණු පුවරුව 157ක් දක්වා ඉහළ නැංවීමට සමත් වුනා.

ලකුණු 65ක් ලබා ගැනීමෙන් පසු තෙවැනි කඩුල්ල ලෙස කවීන් බණ්ඩාර පිටියෙන් ඉවත් වූ පසු පිටියට පැමිණි ඇන්ජලෝ පෙරේරා කමිල් මිෂාරට අගනා සහයක් ලබා දෙමින් ලකුණු 61ක් ලබා ගත්තා.

තරගාවලියේ තුළ තවත් ශතකයකින් පිටිය හැඩකිරීමට සමත් වූ කමිල් මිෂාර ලකුණු 113ක් රැස්කිරීමට සමත් වූ අතර NCC කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:  

පන්දු යැවීමේදී රාගම නායක ඉෂාන් ජයරත්න සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයන්ට NCC වේගපන්දු යවන්නන්ගෙන් එල්ල වූ ප්‍රබල පීඩනය හමුවේ පන්දුවාර 30.3ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ චාමික කරුණාරත්න ලකුණු 37කට කඩුලු 4ක් සහ ලහිරු කුමාර ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තා.

රාගම කණ්ඩායම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ ජනිත් ලියනගේ ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව රාගම කණ්ඩායම ලකුණු 145කින් පරාජය කළ NCC ක්‍රීඩකයන් මෙවර පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙස අභිෂේක ලැබුවා.

Nondescripts Cricket Club – 286/7 (50): කමිල් මිෂාර 113, කවීන් බණ්ඩාර 65, ඇන්ජලෝ පෙරේරා 61, ඉෂාන් ජයරත්න 3/52, බිනුර ප්‍රනාන්දු 3/55

Ragama Cricket Club – 141 (30.3): ජනිත් ලියනගේ 42, ජානක සම්පත් 21, චාමික කරුණාරත්න 4/37, ළහිරු කුමාර 3/30

NCC කණ්ඩායමට ලකුණු 145ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<