ශ්‍රී ලංකා සංචාරය ගැන බංග්ලාදේශ නායකයාගේ අදහස්

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

161

ශ්‍රී ලංකාවට එරෙහිව තරගකාරී තරගාවලියක් ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වන බව බංග්ලාදේශ ටෙස්ට් නායක Mominul Haque පවසා සිටිනවා. සඳුදා (12) බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත අතර එහි දී ඔවුන් ලෝක ටෙස්ට් ශූරතාවයේ සිය අවසන් තරග දෙක ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කරනු ඇත.

බංග්ලාදේශය ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටිනවා. ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ දීයි. තරගාවලියට තරග දෙකක් ඇතුළත්. තරගාවලියට පෙර ඔවුන් දෙදින පුහුණු තරගයක් ක්‍රීඩා කරන්නට නියමිතයි. ඒ තරගය අප්‍රේල් 16 වැනිදා කටුනායක දී ආරම්භ වීමට නියමිතයි. බංග්ලාදේශය අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග අටම පරාජය වීම කැපී පෙනුණා.

2019 වසරේ දී නායකත්වයට පත් වූ Haque, ඔහු මෙහෙය වූ ටෙස්ට් තරග හයෙන් ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. ඔහු පවසා සිටින්නේ ඔවුන්ට නැගී සිටින්නට හැකි වන්නේ ශ්‍රී ලංකාවේ දී ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගතහොත් පමණක් බවයි.

“සත්කාරකයින් ලෙස ශ්‍රී ලංකාව ඉතා විශිෂ්ටයි” Haque පවසා සිටියා. “අපිට ඒක ලොකු අභියෝගයක් වෙයි. ලෙහෙසි වෙන එකක් නැහැ. නමුත් අපි ඒ අභියෝගය භාරගෙන හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න ඕනේ. කණ්ඩායම් දෙකටම හොඳ වේගපන්දු යවන්නන් ඉන්නවා. පිතිකරණය ඉතා වැදගත්. අපි හැමෝම බලාපොරොත්තු වෙන තරම් හොඳට පිතිකරණයේ යෙදුණේ නැහැ.”

Shakib Al Hasan IPL ක්‍රීඩා කිරීමට අවශ්‍ය යැයි පවසමින් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් වූ අතර Mustafizur Rahman එතරම් හොඳ දස්කම් අතර නොසිටීම නිසා තේරීම් කමිටුව ඔහුව කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

Haque පවසා සිටියේ සුපිරි ක්‍රීඩකයින් නැති වීම ගැන ඔහු එතරම් කලබල නොවන බවයි. “මම හිතන්නේ නෑ Shakib හා Mustafizur නැති වුනා කියල හොඳ ප්‍රතිඵලයක් ගන්න නොහැකි වෙයි කියලා. ඔවුන් හොඳ ක්‍රීඩකයින්. ඒ වුනත් ඔවුන්ට අත් 10ක් 12ක් නෑ. මම හිතන්නේ අපිට ජය ගන්න බැරි අපි කණ්ඩායමක් විදියට ක්‍රීඩා නොකරන නිසා.”

ශ්‍රී ලංකා සංචාරයට ක්‍රීඩකයින් 21ක් නම් කර ඇති අතර පුහුණු තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන සංචිතය නම් කිරීමට නියමිතයි.

“මම නායකයෙක් කියන එක මම හොඳට දැන් තේරුම් අරන් ඉන්නේ. මම හිතන්නේ මට දැන් පීඩනය හසුරුවා ගන්න පුළුවන්. ඒක ධනාත්මක විදියේ පීඩනයක්.”

“පසුගිය මාස 12 තිබුණු බාධක එක්ක බලන කොට මම හිතනවා අපි හොඳින් සූදානම් වෙලා ඉන්නවා කියලා. ටෙස්ට් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අනෙක් ක්‍රීඩකයින්ට වඩා හොඳින් පුහුණු වෙලා තියෙනවා. අපි ටික කාලෙකට පෙර පළමු පෙළ තරග දෙකක් ක්‍රීඩා කළා.”

බංග්ලාදේශය අවසන් වරට ටෙස්ට් තරගාවලියකට එක්වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟයි. එහි දී ඔවුන් සිය රටේ දී ම තරග 2-0ක් ලෙස පරාජය වුනා.

CricInfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<