Rajasthan ජයග්‍රාහී මාවතට ගේන්න සංගාගෙන් සැලසුම් රැසක්

148

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය දා ආරම්භ වුනා. මෙවර තරගාවලිය සඳහා කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු සහභාගී නොවන නිසා මෙරට ප්‍රේක්ෂකයන්ගේ විශාල අවධානයක් යොමුව ඇත්තේ මහේල ජයවර්ධනට සහ කුමාර් සංගක්කාරටයි.

මහේල ජයවර්ධන Mumbai Indians පුහුණුකරු ලෙස කටයුතු කරන අතර කුමාර් සංගක්කාර Rajasthan Royals හි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා.

කුමාර් සංගක්කාර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අධ්‍යක්ෂක ලෙස සහභාගී වන්නේ පළමු වතාවට වීම විශේෂත්වයක්.

පසුගිය වසරේ Rajasthan Royals තරගාවලිය තුල ආරම්භක පිතිකරු යුගල 5ක් යොදාගෙන තිබුණා. කණ්ඩායමේ අසාර්ථකත්වයට මූලික හේතුවක් වුනේ ස්ථාවර කණ්ඩායමක් නොමැති වීම බව බොහෝ දෙනාගේ මතය වී තිබුණා.

තවත් ක්‍රිකට් පුවත් :

“අපි යොදා ගන්න පුළුවන් වෙන සංයෝජනය ගැන ඇගයීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අපේ විකල්ප ගැනත් අවධානය යොමු කරනවා. මූලිකම දේ වෙන්නේ ක්‍රීඩකයන්ට අවබෝධයක් ලබා දෙන්න ඕනේ ඔවුන්ගේ වගකීම ගැන. ඔවුන්ගෙන් කණ්ඩායම බලාපොරොත්තු වෙන දේ ගැන ඔවුන්ට අදහසක් තියෙන්න ඕනේ” කුමාර් සංගක්කාර අදහස් දක්වමින් පවසා සිටියා.

“අපිට ඕනේ සමබර කණ්ඩායමක් ගොඩනගාගන්න. අපි උත්සාහ කරන්නේ නිදහස්, පීඩනයකින් තොර ක්‍රිකට් ක්‍රීඩා කරන්න. ඒ වගේම හොඳ සූදානමක් තියෙන්න ඕනේ සහ හොඳ තරගයක් දෙන්න ඕනේ. හැම ක්‍රීඩකයෙක්ම ගැටලු විසඳන ක්‍රීඩකයෙක් වෙන්න ඕනේ. එහෙම වුනාම Sanjuට ඒක ලොකු උදව්වක් වෙනවා තරගය තුල දී. කණ්ඩායමේ විශ්වාසයත් ගොඩනැගෙනවා. හැම ක්‍රීඩකයෙක්ටම ආවේණික දක්ෂතාවයක් තියනවා. කණ්ඩායමක් ගොඩනැගෙන්නේ ඒකෙන්. ක්‍රීඩකයෙක් වුනාම තමන්ගේ දක්ෂතාවය මොකක්ද ඒකෙන් කණ්ඩායමට දායක වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තරගයක් ජයග්‍රහණය කරන එක පහසුයි.”

2020 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය Rajasthan Royals හට එතරම් සාර්ථක වසරක් වුනේ නැහැ. ඔවුන් තරගාවලිය අවසන් කළේ ලකුණු සටහනේ අවසන් ස්ථානයේයි.

“කණ්ඩායමේ තරග දිනවන්න පුළුවන් ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. විශේෂයෙන් Sanju Samson, Rahul Tewatia වගේ ක්‍රීඩකයන්. ඒ වගේම වේගපන්දු යවන්නන් ඉතාමත් හොඳ මට්ටමක ඉන්නවා. අත්‍යවශ්‍ය දේ තමයි තරගයක් තුල දී ක්‍රීඩකයන් දස්කම් දක්වන විදිහ. ඒකට අපේ ප්‍රධාන ක්‍රීඩකයන් සාර්ථක වෙන්න ඕනේ. ස්ථාවර වෙන්න ඕනේ. ඒ වගේම කවුරුහරි වැඩි දෙයක් කරන්න ඕනේ එදා දවසේ. ඒක එක එක තරගයට වෙනස් වෙනවා” කුමාර් සංගක්කාර පවසා සිටියා.

Rajasthan Royals වේගපන්දු බලඇණිය Jofra Archer විසින් මෙහෙයවන අතර පසුගිය වසරේ දී ඔහු වටා සිටින සෙසු පන්දු යවන්නන්ගෙන් ඔහුට හිමි වූ සහයෝගය එතරම් හොඳ මට්ටමක නොතිබිණි. කෙසේ වෙතත් Jofra Archer හට මෙවර තරගාවලියේ මුල් තරග කීපය ක්‍රීඩා කිරීමට නොහැකි වීම Rajasthan කණ්ඩායමට විශාල අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

“මම හිතනවා අත්දැකීම් රහිත ක්‍රීඩකයන් යොදාගන්න එක විටෙක හොඳ ප්‍රතිඵල ගේන්න පුළුවන්. අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වුනාම ප්‍රතිවාදීන්ටත් ඔහුව අභියෝගයක් වෙනවා. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඒක ලොකු අභියෝගයක්. තණතීරුව එක්ක ඒක වෙනස් වෙනවා. මම හිතනවා අපේ තරුණ වේගපන්දු යවන්නන් අපිට ලොකු වාසියක් වේවි කියලා. Kartik Tyagi පසුගිය වසරේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. මේ වසරේ දී Kuldip Yadav, Chetan Sakariya වගේ අළුත් ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන්ව හරි විදිහට මෙහෙයවලා ඔවුන්ගේ වටිනාකම ඔවුන්ට හඳුනා ගන්න අවස්ථාව ලබා දුන්නම ඔවුන් දක්ෂතා අතරට ඒවි” සංගක්කාර පවසා සිටියා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය 9 වැනිදා ආරම්භ වූ අතර මේ වන විට තරග 3ක් පවත්වා අවසන්. තරගාවලියේ සිව්වැනි තරගය අද (12) Rajasthan Royals සහ Punjab Kings අතර පැවැත්වීමට නියමිතයි.

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<