FA කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී දඬුවම් පහර 4-1ක් ලෙස පොලිස් කණ්ඩායම පරාජය කරමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නට සිඟින් ෆිෂ් කණ්ඩායම සමත් විය.

දෙවන අර්ධයේ තියුණු සටනින් රිනවුන් සමාජයට ජය

FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 32 වටයේ තවත් තරගයක් අලුත්ගම සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවතියේ..

පෙර තරගයේ දී බණ්ඩාරවෙල ලිබර්ටි SC කණ්ඩායම හමුවේ ගෝල 9-0ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර ගත් පොලිස් කණ්ඩායම, මෙම තරගයට පිවිසියේ ඉතා හොඳ මානසික තත්වයකිනි. සිඟින් ෆිෂ් කණ්ඩායම ද මෙම තරගයට පිවිසියේ යාපනය දොරෙයියප්පා ක්‍රීඩාංගණයේ දී මීගමුව ජුපීටර්ස් SC කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමිනි.

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපයේ දී ම තරගයට හොඳ ආරම්භයක් ලබා ගන්නට සිඟින් ෆිෂ් කණ්ඩායමට හැකි විය. සිඟින් ෆිෂ් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ඥානප්‍රතාප් තරගයේ ආරම්භක ගෝලය තම කණ්ඩායමට හිමි කර දීමේ අරමුණින් ගෝල රාමුව දෙසට එල්ල කළ පහර පොලිස් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක දුමිත් ශෂික විසින් නවතා ගන්නට සමත් විය.

මෙම අවස්ථාවෙන් අනතුරුව පොලිස් කණ්ඩායම තරගයට අවතීර්ණ වෙමින් සිඟින් ෆිෂ් කණ්ඩායමට විශාල පීඩනයක් එල්ල කිරීමට සමත් විය. පොලිස් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයින් ඉතා හොඳින් පන්දුව හසුරුවමින් ඉදිරිපෙළ ක්‍රීඩකයින් වෙත යොමු කරන්නට සමත් වුවත් ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාසය හා සිඟින් ෆිෂ් කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක රාජ් කුමාර්ගේ දක්ෂතාවය නිසා ඒවා ගෝල බවට පරිවර්තනය කර ගන්නට පොලිස් ක්‍රීඩකයින් අපොහොසත් විය.  

පළමු අර්ධය: පොලිස් කණ්ඩායම 00-00 සිඟින් ෆිෂ් කණ්ඩායම

දෙවන අර්ධය පුරාවට ද තම ආධිපත්‍ය පතුරුවන්නට පොලිස් කණ්ඩායමට හැකි විය. පොලිස් කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයින් නැවතත් ඉතා දක්ෂ ලෙස පන්දුව හසුරුවමින් ගෝල ලබා ගැනීමට උත්සාහ කළ අතර නිදහස් පහර කිහිපයක්ම තම කණ්ඩායමට හිමිකර දෙන්නට ඔවුන් සමත් විය.

තම කණ්ඩායමට ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම හිමි කර දුන් පොලිස් කණ්ඩායමේ නායක සම්පත් පතිරණ එල්ල කළ නිදහස් පහර ගෝල රාමුව ආසන්නයෙන් ඉවතට ඇදී ගියේ පොලිස් කණ්ඩායමට ගෝලයක් ලබා ගැනීමට හිමි වූ තවත් අවස්ථාවක් ගිලිහී යමිනි.

තරගය පුරාවට පොලිස් කණ්ඩායමේ ක්‍රීඩකයින් එල්ල කළ පීඩනය ඉතා හොඳින් දරා ගැනීමට සිඟින් ෆිෂ් කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් සමත් විය. පොලිස් කණ්ඩායමෙන් අවස්ථාවක් ලද විගස ඉක්මන් ගෝලයක් ලබා ගැනීමේ අරමුණින් පසු වූ සිඟින් ෆිෂ් ක්‍රීඩකයින් ගෝලයක් ලබා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට සමත් වුවත් ශාන්තන් එල්ල කළ වේගවත් පහර ගෝල රාමුවේ හරස් කණුවේ වැදීම නිසාවෙන් එම අවස්ථාව සිඟින් ෆිෂ් ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියේය.  

මින් අනතුරුව ද පොලිස් කණ්ඩායමට ගෝල ලබා ගැනීමට අවස්ථා කිහිපයක්ම හිමි වූ නමුත් ඒවා සියල්ල ඔවුන් අතින් ගිලිහී ගියේය. තරගයේ අවසාන මිනිත්තු කිහිපය වන විටත් කිසිදු කණ්ඩායමක් ගෝලයක් ලබාගෙන නොතිබූ නිසා දඬුවම් පහර වටය ඉලක්ක කර ගෙන පොලිස් කණ්ඩායම සිය ගෝල රකින ක්‍රීඩකයාගේ වෙනසක් සිදු කරන ලදී.

දෙවන අර්ධය: පොලිස් කණ්ඩායම 00-00 සිඟින් ෆිෂ් කණ්ඩායම

දඬුවම් පහර වටයට හොඳින් මුහුණ දුන් සිඟින් ෆිෂ් ක්‍රීඩකයින් ඔවුන්ට හිමි වූ පළමු දඬුවම් පහර තුනම සාර්ථක කර ගැනීමට සමත් විය. අනෙක් පසින් පොලිස් කණ්ඩායමට ඔවුන්ට හිමි වූ පළමු දඬුවම් පහර තුනෙන් සාර්ථක කර ගැනීමට සමත් වූයේ එක් දඬුවම් පහරක් පමණි. පොලිස් කණ්ඩායමේ සුජිත් සංජීව එල්ල කළ දඬුවම් පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගිය අතර සම්පත් පතිරණ එල්ල කළ පහර කෙලින්ම ගෝල රකින ක්‍රීඩකයා වෙතට ඇදී ගියේය. සිඟින් ෆිෂ් කණ්ඩායමට හිමි වූ හතර වන දඬුවම් පහර අවස්ථාව ද සාර්ථක කර ගැනීමට ශාන්තන් සමත් වූ අතර ඒ අනුව දඬුවම් පහර වටය 4-1ක් ලෙස ජය ගත් සිඟින් ෆිෂ් ක්‍රීඩකයින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

දඬුවම් පහර වටය: පොලිස් කණ්ඩායම 1-4 සිඟින් ෆිෂ් කණ්ඩායම

ThePapare.com තරඟයේ වීරයා – රාජ් කුමාර් (සිඟින් ෆිෂ් කණ්ඩායම)

ThePapare.com සමඟ අදහස් දැක්වූ සිඟින් ෆිෂ් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු උදයානන් පවසා සිටියේ;

“අපි අද තරගය ක්‍රීඩා කළේ පසුපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙක් අඩුවෙන්. ඒත් අපිට අද තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඊළඟ වටයේ පැවැත්වෙන තරගය ගොඩක් අමාරු තරගයක් වෙයි. මොකද බ්ලූ ස්ටාර් කණ්ඩායම කියන්නේ ඉතා දක්ෂ කණ්ඩායමක්. ඒත් අපි ඒ තරගයට යන්නේ ගොඩක් හොඳ විශ්වාසයකින්. දොරෙයියප්පා ක්‍රීඩාංගණයට පැමිණෙන විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉදිරියේ අපේ ශක්තිය පෙන්නන්න අපි සූදානම්.”

බලාපොරොත්තු නොවූ පරාජයකට මුහුණ දීමට සිදු වූ පොලිස් කණ්ඩායමේ පුහුණුකරු තුෂාර සම්පත් පවසා සිටියේ;

“අපිට ගෝල ලබා ගන්න තිබුණ අවස්ථා ගොඩක් මඟ හැරුණා. අපි තරගය පරාජය වුනේ ඒ නිසා. දඬුවම් පහර වටය පරාජය වීම ලොකු අවාසනාවක්. සිඟින් ෆිෂ් කණ්ඩායම කණ්ඩායමක් විදිහට හොඳින් ක්‍රීඩා කළා. අපිට බලාපොරොත්තු වුණු විදිහට ක්‍රීඩා කරන්න හැකිවුණේ නැහැ.”

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට