ලොවම දන්නා, ඔබ නොදන්නා “සවිතා”

506

 “සවිතා” මේ නම ඔබට ඉතා හුරුපුරුදු බව මම දනිමි.. නමුත් ඈ ගැන ඔබ නොදන්නා තතු දැන ගැනීම පිණිස ඇය ගැන ඔබ නොදත් කතාව මම ඔබට ලියා තබමි.

ඇය ගැන හදුන්වා දීමට පෙර මම ඔබව රැගෙන යන්නේ බැංගලෝරයේ ඉන්දියානු ක්‍රීඩා අධිකාරයේ පැවති කාන්තා හොකී ගෝල රකින්නියන්ගේ පුහුණුවක් වෙතයි. අවට නිරීක්ෂණයේ දී පෙනී යන්නේ එක් ක්‍රීඩිකාවක් තමන්ගේ බෙල්ලේ ඇති ආබාධය ද නොතකා පුහුණුවට පැමිණ ඇති බවයි.

ක්‍රීඩා පුහුණුකරු, හරෙන්ද්‍ර සිං හොකී පන්දු යොමු කිරීමේ යන්ත්‍රයක් ආධාරයෙන් ගෝල රකින ක්‍රීඩීකාවන් වෙත පන්දු යොමුකරන වාර ගණන, වේගය හා ගමන් පථය වෙනස් කරමින් පන්දු යොමුකරමින් සිටි.

තමාගේ වාරය එනතුරු ඉවසිල්ලෙන් බලා සිටි බෙල්ලේ ආබාධය සහිත ක්‍රීඩිකාව සෙමින් ගෝලය අසලට වෙත පැමිණ ගෝලය ආවරණය කරමින් සිට ගත්තාය.

“Ready.. Start…”

පුහුණුකරුගේ විධානයෙන් ආරම්භකොට නොකඩවා පන්දු 204කට මුහුණ දුන් හට මඟ ඇරුණේ එකම එක ගෝලයක් පමණි. පුහුණු සැසිය නිමා කළ විඩාබර ලෙස ගෝල කණුව අසල සිටගෙන පුහුණුකරු දෙස බලා

“I missed 124th hit” (මට 124 වෙනි පන්දුව මගහැරුනායනුවෙන් පැවසුවාය.

ගෝලයක් ලෙස ඇයට මගහැරී  තිබුණේ 124 වෙනි පන්දුවයි. එය ඇයට හොඳින් මතකය. ඇගේ පා ආවරණ මඟ හැර පන්දු 15ක් පමණ දැල වෙත පැමිණි ද, සාමාන්‍ය ක්‍රීඩා තරගයක දී මෙම ස්ථාන රැකගැනීමට ක්‍රීඩිකාවන් සිටින නිසා ඒවා ගෝල ලෙස සැලකිය නොහැකි වුවත් එම සියලු අවස්ථාවන් හීදීත් ඇය වේදනාත්මකව කෑ ගැසුවේ තමන්ටම අවවාද කරගනිමින්ය.

ඉන්දියානු කාන්තා හොකී කණ්ඩායම එංගලන්තයේ ලන්ඩන් නගරයේ දී තරග වැදීමට නියමිත කාන්තා හොකී ලෝක ශූරතා තරගාවලියෙ දී, ප්‍රබ ඉන්දියා කණ්ඩායමේ නායිකා රාණි රාම්පාල් සමඟ මුලින්ම කියවෙන නම අප කතා නායිකාවගේ . මෙය ඇය තම දේශය වෙනුවෙන් ක්‍රීඩා කරන 149 වන වතාව වන අතර, ඇගේ සහ ඇයගේ සහායිකාවන්ගේ ප්‍රථම ලෝක ශූරතා තරගාවලියයි. ඉන්දියාව මෙතෙක් පැවති ලෝක ශූරතා තරගාවලි 14න් 7කට තරග වැදීමට සුදුසුකම් ලත් අතර, මෙය 2010න් පසු ඔවුන්ගේ ප්‍රථම ලෝක ශූරතාවලියයි.

සවිතා පූනියා…

© NDTV Sports

ඉන්දියානු ජාතික කාන්තා හොකී කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නිය ඇයයි. කොතෙක් පුහුණුවීම් කළ ද එය ඇතිය කියා නොසිතන, ලොව හොඳම ගෝල රකින්නියන් අතර පෙරමුණේ පසුවන ඇය මේ වන විට 28 හැවිරිදි වියේ පසුවෙයි. ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට අභියෝග කරමින් දැල් ඉදිරිපිට විදුලි වේගයෙන් පාද හසුරවන ඇය ප්‍රතිවාදී ප්‍රහාරිකාවන්ගේ අභියෝගාත්මක වදන් හමුවේ තම මානසික ඒකාග්‍රතාව බිද නොගෙන ක්‍රීඩාවේ යෙදෙන අයුරු නිරන්තරයෙන් දක්නට ලැබෙයි.

උවමනාවෙන් ඈ දෙස බලන්නෙකු හට පෙනී යන කරුණක් වන්නේ පන්දුව තමා වෙත පැමිණෙන දිශාව අනුමාන කිරීමට ඈ සතු සහජ කුසලතාවයයි. අනෙකුත් ගෝල රකින්නියන් අතරින් ඉදිරියට පැමිණීමට සවිතා හට හැකිවී තිබෙන්නේ ද මේ කුසලතාවය නිසාය.  ඉන්දියානු ධජය සහිත ක්‍රීඩා ඇදුමෙන් සැරසී හෙල්මටය පැලඳ ගෙන හොකී දැල ඉදිරියට පැමිණි පසු ඈ තවදුරටත් තරුණිය නොවේ. ඇය දඬුවම් පහරවල දී ඇයගේ හොකී පිත්ත හසුරවන්නේ, හොකී පන්දුව ඇයගේ පෞද්ගලික වාසභූමියට පැමිණෙන ආක්‍රමණිකයෙක් ලෙස සලකමිනි. පන්දුවට ඇගෙන් ගැලවුමක් නැත.

“මා දුරස්ථ පන්දු රකින්නියක් වුනා නම්, සමහර විට මා බියෙන් පසුවෙන්න ඉඩ තිබ්බා. නමුත් හෙල්මටය නිසා මම ආරක්ෂිතයි කියල මට දැනෙනවා. ක්‍රීඩාවෙදි අපි අතින් නොයෙකුත් වැරදි සිදු වෙනවා. අපි වැරදි කරමින් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ඉගෙන අපි දක්ෂ වෙනවා. ක්‍රීඩාව විඳින්නට හොඳම ක්‍රමය එයයි” ඒ ක්‍රීඩාව අතරතුර සිදුවන වැරදි පිළිබදව සවිතාගේ අදහසයි..

©Indiatimes

හර්යානා ප්‍රාන්තයේ ගම්මානයේ ඉපිද හැදී වැඩුණ සවිතා 2004 වසරේ දී ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සිර්සා හි මහාරාජා අග්‍රසෛන් කාන්තා පාසලට බැඳෙන්නේ හොකී ක්‍රීඩාව ඉගෙනුම සඳහාය. ජූඩෝ හෝ බැඩ්මින්ටන් වැනි ක්‍රීඩාවක් පහසුවෙන් කිරීමට හැකියාවක් තිබුණ ද, තම සීයාගේ ඉල්ලීම නිසාම තමන් හොකී ක්‍රීඩාව තෝරාගත් වග සවිතා පවසයි.

සවිතාගේ මුල් වසර දෙක ගෙවී යන්නේ ශාරීරික යෝග්‍යතාවය වෙනුවෙන් වන අතර, බොහෝ දිනවල පුහුණුවීම් වලින් පසුව ඇය නිවස වෙත ආවේ තමන්ව නැවත ක්‍රීඩා පාසල වෙත නොයවන මෙන් සිය දෙමාපියන්ට ආයාචනා කරමිනි. නමුත් ඇයගේ මව ලීලාවත් සහ පියා මොහෙන්ද්‍ර ඇයට පැවසුවේ තවත් අවුරුද්දක් හොකී ඉගෙන ගන්නා ලෙසය.

කාලය සෙමෙන් ගෙවී යන අතරේ සවිතාගේ මෙන්ම සමස්ත ඉන්දියානු ඉතිහාසයේම තීරණාත්මක මොහොතක් සටහන් කරමින්, දුර දක්නා නුවණින් යුතු වූ ඇයගේ පුහුණුකරු ඇයව ගෝල රකින්නියන්ගේ ස්ථානය සඳහා පුහුණුවීම් වලට යොදවන්නේ, ඇයව ඉන්දියානු ජාතික කණ්ඩායම වෙත තේරීමට ඇති ඉඩකඩ වැඩි කිරීමටය. මෙය කණ වැකුණු සැණින් ඇයගේ පියා, ඇයට ඉන්දියානු රුපියල් 18,000/-ක් වටිනා ක්‍රීඩා ආයිත්තම් රැගෙන දෙන්නේ ඇයගෙන් ඉල්ලීමක් ලැබෙන්නට ද පෙරය. හොකී සම්බන්ධව මෙයට වඩා අවධානයක් දීමට සවිතා සිතන්නේ මෙතැන් පටන් ය.

2007 වසරේ දී සවිතා හට ඉන්දියාවේ ලක්නව් හී පැවති ජාතික කඳවුර තුළ දී ඉහළම තලයේ සිටි ක්‍රීඩිකාවන් හා පුහුණුවීම් සඳහා අවස්ථාවක් ලැබෙන අතර, ඇයගේ ප්‍රථම ලෝක ශූරතා තරගාවලිය සඳහා ඇය 2008 දී සුදුසුකම් ලබන්නේ තම පියාගේ දහසකුත් එකක් වූ සිහින මල් ඵලගන්වමිනි. නමුත් එහි දී ඇය ව්‍යායාම වලින් අනතුරුව ඇඟ උණුසුම් කිරීම සඳහා අනෙක් ක්‍රීඩිකාවන් හා එක්ව පාපන්දු ක්‍රීඩාවක නිරත වීම හේතුවෙන් පාදයක ආබාධිත තත්වයකට මුහුණ පාන අතර මේ හේතුවෙන් ඇයට මාස හතරක කාලයක් විවේක ගැනීමට නියම වීම නිසා, 2009 ආසියානූ කුසලාන තරගාවලිය නියෝජනය කිරීමට තිබූ අවස්ථාව ද අහිමි වී ගියේ ඉතා අවාසනාවන්ත අයුරිනි.

© TheTimesGroup

ක්‍රීඩාවෙන් ඈත්ව සිටි කාලය තුළ දී ඇයගේ පියා ඇයව ධෛර්යමත් කළේ ඇගේ ඉදිරි ගමනට ගමන පිළිබඳව නිරන්තරයෙන් සිහිපත් කර දෙමිනි.

“පවුලේ සියල්ලන්ම මං ගැන ආඩම්බර වුනා. මං ක්‍රීඩා සංචිතයේ සිටීම ම ඔවුන්ට ආඩම්බරයක් වුනා. මගේ තාත්තා මට පැවසුවේ, මගේ කාලය එනතුරු ඉවසිල්ලේ පුහුණුවෙන ලෙසයි” සවිතා එසේ පවසන්නේ ඉතා හැගුම්බර අයුරිනි.

රියෝ හි ඔලිම්පික් තරගාවලියට පසු ඉන්දියාවේ තරග වාර්තා ඉහල යෑම අහඹුවක් නොවන වග සඳහන් කරන සවිතා එයට හේතු ලෙසින් දක්වන්නේ ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ යෑම සහ කණ්ඩායම් හැඟීම වර්ධනය වීමයි.

“ඔලිම්පික් තරගාවලියෙන් පසු අපි කණ්ඩායමක් හැටිය වර්ධන වෙලා. කණ්ඩායමෙන් කෙනෙක් පවසන දේ, අනික් දහසය දෙනාම අනුමත කරනවා. ලෝක ශූරතා තරගාවලියේ දී අපි අපගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙත දැනුම් දෙන්න ඕන, අපට මෙහි සිටීමට අයිතියක් ඇති බවට.”

පෞද්ගලිකව ඇයගේ හැරවුම් ලක්ෂය වූයේ 2015 ජපානයට එරෙහිව පැවති ලෝක ශූරතා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයයි.

“මට ඒ තරගය අමතක කරන්න බෑ. මගේ බය නැති උනා. මට දැනුණා මට ඕනම කණ්ඩායමකට එරෙහිව තරග වැදීමට හැකි බවට.” ඇය පවසයි.

© Hockeyworld

ඇයගේ පුහුණුකරු පවසන ආකාරයට ඇය ඉන්දියාවේ පමණක් නොව, මුළු ලෝකයෙන් ම ඉහළම තලයේ සිටින ක්‍රීඩිකාවකි.

“ඇය තමා දක්ෂම. හොකී ක්‍රීඩාවෙදි ඔබ තියුණු වෙන්නම ඕන, හොඳ මානසික ඒකාග්‍රතාවයක් තියෙන්න ඕන. මොකද කියනවා නම් පන්දුව කොහෙන් හෝ, ඕනෑම වේගයකින් ඔබ වෙත එන්න පුළුවන්. ඇය මේ සියල්ල ප්‍රගුණ කළ ක්‍රීඩිකාවක්. පිලේ අනික් ක්‍රීඩිකාවන් ඇයට උපකාරී වෙමින් ඇය තරමටම තමන්ගේ හැකියාවන් නංවාගතහොත් අපිට අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.” ඔහු පවසයි.

“මගේ සීයාට අධ්‍යාපනයක් ලබන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ඒත් ඔහු මට කිව්වා දවසක ඔහු මං ගැන ලියවුන ලිපියක් කියවන වගට. අවුරුද්දකට පමණ පෙර මං ගෙදර එන විට, ඔහු පුවත්පතක් ගෙන, මා ගැන තිබූ ලිපියක් කියෙව්වා. මේ වයසට ඔහු මගේ නෑ සොහොයුරියන්ගෙන් කියවීම ඉගෙන ගෙන. මට මගේ කඳුළු පාලනය කරගන්න පුළුවන් වුනේ නෑ. මට සියල්ල ලැබුණ වග දැනුණා.” ඇය පවසයි.

සවිතා 2013 දී ඉන්දියානු කණ්ඩායම සමඟ ආසියානූ තරගාවලියේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරන විට දී ඇයගේ සීයාගේ මරණයත් සමඟම ඇය මානසික පසුබෑමකට ලක්ව සිටියාය.

“මං මානසිකව ඇද වැටි සිටියේ. එය මගේ ඉරියව් වලින් පෙනුණා. ඇත්තටම තරඟ විඳින්නට මට හැකි වුනේ නෑ. මං කළේ රාජකාරියක් පමණයි” ඇය පවසයි.

“මගෙ සීය තමයි මාව හොකී ක්‍රීඩාවට නැඹුරු කළේ. අද මම ජාත්‍යන්තර තලයේ දක්ෂතා පෙන්වනකොට මගෙ සීය කොහෙට හරි වෙලා බලාගෙන ඇති මම සෙල්ලම් කරන දිහා. එදා වගේම ඔහු මට ආශීර්වාද කරනවා ඇති.”

ඇය හැගුම්බර ලෙස එසේ පවසන්නේ අහස දෙස තම නෙත් යොමාගෙනය. ඇගේ මීළඟ සිහිනය ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමය. ඉන්දියානු ක්‍රීඩා ඉතිහාස පොතේ නව ඡේදයක් ආරම්භ කරමින් ඔලිම්පික් සිහිනය ඉටුකර ගැනීමට ඇයට හැකි වේවි ද? අපි බලා සිටිමු.

ESPN ඇසුරිනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<