ICC Player of the Month සඳහා ශ්‍රී ලංකා යොෟවනයෙක්!

181

පසුගිය මැයි මාසය සඳහා වන Player of the Month සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා නවක දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද එක්කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් එම නම් ලැයිස්තුව පසුගිය දා නිවේදනය කළා.

මෙම Player of the Month සඳහා ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් නම් කරන අතර එයට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස සියලු තරග රටා ඇතුළත් වනවා. මෙලෙස නම් කළ ක්‍රීඩකයන් අතරින් ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම සඳහා ක්‍රීඩාලෝලීන්ට ද සහභාගී වීමට අවසරය හිමිවනවා. ඒ අනුව OFFICIAL ICC APP වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා සහභාගී විය හැකියි.

මැයි මාසය සඳහා වන ක්‍රීඩක ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා නවක දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ඇතුළත්ව ඇත්තේ ඔහුගේ මංගල තරගයේ දී ම ඔහු දැක්වූ දක්ෂතා නිසාවෙන්. 

එහි දී බංග්ලාදේශ කණ්ඩායම හමුවේ එක් තරගයකට ක්‍රීඩා කළ ඔහු කඩුලු 11ක් දවා ගැනීමට සමත් වුනා. ඒ 16.11ක සාමාන්‍යයක් සමඟින්. ප්‍රවීන් ජයවික්‍රමගේ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ අතර ප්‍රවීන් බිඳ හෙළු කඩුලු 11 සටහන් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු මංගල තරගයේ දී වාර්තා කළ ඉහළම දක්ෂතාවය ලෙසයි.

මීට අමතරව පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරන Hasan Ali ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටිනවා. ඔහු පාකිස්තානය නියෝජනය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කළ අතර එහි දී කඩුලු 14ක් දවා ගැනීමට සමත් වුනා. 

බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන Mushfiqur Rahim මෙම සම්මානය සඳහා නිර්දේශ වූ තවත් ක්‍රීඩකයෙක්. ඔහු මැයි මාසය තුළ ශ්‍රී ලංකා සමඟින් එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 3කට ක්‍රීඩා කර තිබෙනවා. එහි දී ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන එක්දින තරගයේ දී ලකුණු 125ක් වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පළමු තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කළා. 

මීට අමතරව මැයි මාසය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වූ කාන්තා ක්‍රීඩිකාවන් තිදෙනෙකු ද මෙම Player of the Month සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.

ඒ සඳහා ස්කොට්ලන්තය නියෝජනය කරමින් Kathryn Bryce නම් කර ඇති අතර ඇය පසුගිය දා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වල මුල් ක්‍රීඩිකාවන් 10 දෙනා අතරට ද ඇතුළත් වුනා. එය ස්කොට්ලන්තය නියෝජනය කළ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල මුල් දසදෙනා අතරට පැමිණි පළමු අවස්ථාව වීම විශේෂත්වයක්. 

ඇය මැයි මාසය තුළ අයර්ලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග 4 කට ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 96ක් සහ කඩුලු 5ක් දවා ගැනීමට ඇය සමත් වුනා. ඇගේ පන්දු යැවීමේ ලකුණු සාමාන්‍ය 4.76ක් ලෙස සටහන් වුනා. 

මීට අමතරව අයර්ලන්තය නියෝජනය කරමින් Gaby Lewis ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටිනවා. ඇය ස්කොට්ලන්ත තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනේ ලකුණු 116ක් වාර්තා කරමින්. ඇගේ ලකුණු සාමාන්‍ය 29.00ක් වූ අතර පන්දුවට පහරදීමේ වේගය 116.00ක්. එම තරගාවලියේ දෙවැනි තරගයේ දී Gaby Lewis ලකුණු 47ක් වාර්තා කළ අතර සිව්වැනි තරගයේ දී ලකුණු 49ක් වාර්තා කිරීමට සමත් වුනා.

කාන්තා සම්මානය සඳහා නම් කළ අනෙක් ක්‍රීඩිකාව වන්නේ අයර්ලන්තය නියෝජනය කරන Leah Paul. ඇය ස්කොට්ලන්ත තරගාවලිය තුල කඩුලු 9ක් වාර්තා කළ අතර ඇගේ ලකුණු සාමාන්‍ය 4.44ක් වුනා. ඇය අයර්ලන්ත – ස්කොට්ලන්ත තරගාවලිය තුල වැඩිම කඩුලු ලාභිනිය වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ Player of the Month සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය:

එක් එක් මාසයට අදාලව පැවති තරගවල දී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මත පදනම්ව කාන්තා හා පිරිමි කාණ්ඩ සඳහා ක්‍රීඩකයන් තිදෙනෙකු බැගින් තෝරාගනු ලබනවා.

එම ක්‍රීඩකයන් තිදෙනා සඳහා ස්වාධීන ICC ඡන්ද ඇකඩමිය (ICC Voting Academy)  විසින් සිය මනාපය පළ කරන අතර ඒ සඳහා ක්‍රීඩාලෝලීන්ට ද අවස්ථාව හිමිවනවා. මෙම ICC ඡන්ද ඇකඩමිය සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන්, හිටපු ක්‍රීඩකයන්, විකාශකයන් සහ ICC Hall of Fame හි සාමාජිකයන් ඇතුළත් වනවා.

මෙම ඡන්ද ඇකඩමිය සඳහා සහභාගී වන පුද්ගලයන් විසින් සිය මනාපය විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන අතර ඒ සඳහා මුළු ඡන්ද විමසීමෙන් 90%ක ප්‍රමාණයක් ඇතුළත් වනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන ක්‍රීඩාලෝලීන්ට සෙසු 10%ක ප්‍රමාණයට දායකත්වය ලබා දිය හැකියි.

ඒ අනුව Player of the Month සම්මානය දිනා ගන්නා ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සෑම මසකම දෙවන සඳුදා දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

2021 මැයි මාසය සඳහා වන ICC ඡන්ද ඇකඩමිය 

ඇෆ්ගනිස්තාන: Hameed Qayoomi සහ Javed Hamim; Australia: Melinda Farrell සහ Lisa Sthalekar; බංග්ලාදේශය: Tarek Mahmoud සහ Mohammad Isam; එංගලන්තය: Elizabeth Ammon සහ Claire Taylor; අයර්ලන්ත: Ian Callender සහ Isobel Joyce; ඉන්දියා: Annesha Ghosh සහ VVS Laxman’ නවසීලන්තය: Mark Geenty සහ John Wright; පාකිස්තානය: Faizan Lakhani සහ Ramiz Raja; දකුණු අප්‍රිකාව: Firdose Moonda සහ Makhaya Ntini; ශ්‍රී ලංකා: නෙවිල් වික්ටර් ඇන්තනී සහ රසල් ආනල්ඩ්; බටහිර ඉන්දීය කොදෙව්: Ian Bishop සහ Merissa Aguilleira; සිම්බාබ්ව: Tristan Holme සහ Mpumelelo Mbangwa; සෙසු සාමාජිකයන්: Paul Radley සහ Dirk Nannes.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<